කවුද මේ බග්දාදී ? පාපන්දු ක්‍රීඩා කළ නිහඬ "බැතිමතා"

Screengrab of video released on 30 April 2019 showing Abu Bakr al-Baghdad at an undisclosed location

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඇමරිකානු කොමාන්ඩෝ භටයන් සිරියාවේ යෙදුණු මෙහෙයුමක් අතරතුර ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) නායකයා වූ අබු බකර් අල් - බග්දාදී සිය දිවි හානිකරගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා නිවේදනය කළේය.

IS සංවිධානය හිස එසැවීමත් සමඟ මොහු අල්ලා ගැනීම සඳහා පසුගිය පස්වසර පුරා ඇමරිකා එක්සත් ජනපදය බොහෝ දේ කළේය. බග්දාදී ගේ හිස ගෙන එන කෙනෙකුට ඩොලර් මිලියන 25ක් පිරිනැමීමට ඇමරිකාව සුදානම් ව සිටියේය.

එවක සිරියාවේ බටහිර ප්‍රදේශයේ සිට ඉරාකයේ නැගෙනහිර ප්‍රදේශය දක්වා විහිදුනු වර්ග කිලෝ මීටර 88,000ක් තරම් විශාල වූ භූමි ප්‍රදේශයක් බග්දාදිගේ පාලනයට නතුව තිබුණි. එය වර්ග සැතපුම්වලින් නම් 3400කි.

"බැතිමතා"

අබු බකර් අල් - බග්දාදී යනු ඔහු ගේ සැබෑ නාමය නොවේ. 1971 දී ඉරාකයේ මධ්‍යම ප්‍රදේශයේ සමාරා නගරයේ උපත ලද ඔහු ඉබ්‍රහිම් අවාඩ් ඉබ්‍රහිම් අල් - බාඩ්රි නම් විය.

නව යෞවන වියේ දී ඔහු අමතන ලද්දේ "බැතිමතා" යන අරුත දෙන අන්වර්ථ නාමයකිනි. ඊට හේතුව ඔහු නිතර ම දේවස්ථානයේ ගැවසීමයි. ශුද්ධ වූ කුරානය ඔහු කටපාඩම් කළේය.

ඉස්ලාම් නීතිය හෝ ෂරියා නීතිය කඩ කරන්නන්ට ඔහුගෙන් සුළු දඬුවම් ලැබිණි.

Abu Bakr al-Baghdadi (file photo)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1971 දී ඉරාකයේ මධ්‍යම ප්‍රදේශයේ සමාරා නගරයේ උපත ලද ඔහු ඉබ්‍රහිම් අවාඩ් ඉබ්‍රහිම් අල් - බාඩ්රි නම් විය

පාසල් අධ්‍යාපනය නිම කළ ඔහු 1990 දශකයේ මුල් භාගයේ දී බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේ ය. ඉස්ලාම් ධර්මය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා ගත්තේය. අනතුරුව බැග්ඩෑඩයේ ඉස්ලාමීය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද හිමි කර ගත්තේය. මේ සියල්ල සඳහන් වන්නේ සිය අධාරකරුවන් විසින් රචනා කරන ලද චරිතාපදානයක ය.

ශිෂ්‍ය අවධියේ දී ඔහු පදිංචිව සිට ඇත්තේ බැග්ඩෑඩයේ ටෝබ්චි දිස්ත්‍රික්කයේ පිහිටි සුන්නි මුස්ලිම් දේවස්ථානයක් අසල ය. ඔහු තමන්ගේ පාඩුවේ සිටි නිහඬ පුද්ගලයෙකු බව පැවසේ.

මේ සිසුවා ගේ හඬ අවදි වී ඇත්තේ දේවස්ථානයේ කුරානය හඬ නගා කියැවීමේ දී හෝ දේවස්ථානයේ පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරද්දී පමණි.

මෙම වකවානුවේ දී මේ ශිෂ්‍යයා සලාෆිවාදය සහ ජිහාඩ්වාදය ද වැළඳ ගත් බව විශ්වාස කෙරේ.

2003 දී එක්සත් ජනපදය නායකත්වය දුන් හමුදාව ඉරාකය ආක්‍රමණය කළේය. ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් ගේ බල අධිකාරිය පෙරලා දැමීය.

එක්සත් ජනපද හමුදාවට සහ එහි මිත්‍ර හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කැරලි කණ්ඩායමක් තැනීමට බග්දාදී ගේ උදව් ලැබී තිබේ. එම කැරලි කණ්ඩායම හැඳින්වුණේ ජමාත් ජයිෂ් අහ්ල් අල් - සුන්නඃ වා-ල්-ජමාත් යන නාමයෙනි. එම සංවිධානයේ ෂරියා කමිටුවේ ප්‍රධානියා වූයේ බග්දාදී ය.

2004 දී බග්දාදී එක්සත් ජනපද හමුදාවේ ග්‍රහණයට හසු විය. ඒ ෆලුජා නගරයේ දී ය. අනතුරුව ඉරාකයේ දකුණු පළාතේ පිහිටි 'බූකා' රැඳවුම් කඳවුරට ගෙන යන ලදී.

Iraqi detainees walk inside Camp Bucca detention facility in southern Iraq (20 May 2008)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බග්දාදී මාස 10ක් රඳවා තැබුණේ 'බූකා' නමැති මෙම කඳවුරේය

බූකා කඳවුර IS සංවිධානයේ අනාගත නායකයන් හට "විශ්වවිද්‍යාලයක්" ලෙස එවකට හැඳින්විණි. රැඳවියන් මෙම කඳවුර තුළ දී රැඩිකල්කරණයට ලක් විය. ඔවුනට වැදගත් වන සම්බන්ධතා තර කර ගනිමින් ජාලය ශක්තිමත් විය.

එවකට මෙම කඳවුර තුළ යාඥා මෙහෙයවනු ලැබ ඇත්තේ බග්දාදී විසිනි. තමන් සමඟ සිටින රැඳවියන්ට දහම උගන්වා ඇත.

මොහු එතරම් තර්ජනයක් විය නොහැකි පුද්ගලයෙකු ලෙස එක්සත් ජනපද බලධාරීන් තීරණය කළ හෙයින් මාස දහයකට පසුව බග්දාදී නිදහස් විය.

"2004 දී අපි ඔහුව අල්ල ගන්න කොට ඔහු වීදි මැරයෙක් විතරයි. මොහු IS සංවිධානයේ නායකයා වුනා කියන එක අදහාගන්නවත් බැහැ." පෙන්ටගනයේ නිලධාරියෙක් 2014 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණි.

ඉරාකයේ අල්ඛයීඩා

බූකා කඳවුරෙන් නිදහස ලබා පැමිණි බග්දාදීට ඉරාකයේ අලුතින් පිහිටුවා ගෙන තිබූ අල්ඛයීඩා සංවිධානය (AQI) සමඟ සබඳතා ගොඩ නගා ගැනීමට හැකි වී ඇති බව විශ්වාස කෙරේ.

AQI සංවිධානය එවකට පැවතියේ අබු මුසාබ් අල් - සර්කාවි ගේ නායකත්වය යටතේ ය. ඔහු ජෝර්දාන ජාතිකයෙකි. ඉරාකයේ ප්‍රධාන කැරලි කණ්ඩායමක් බවට එය පත් වී තිබිණ. විරුද්ධවාදීන්ගේ ගෙල සිඳ දැමීම ඇතුළු ඉතා සාහසික දඬුවම් ක්‍රියාවට නැංවීම නිසා මෙම සංවිධානය බිහිසුණු විය.

2006 වසරේ මුල් සමය තුළ AQI සංවිධානය යටතේ තවත් ජිහාඩ් සංවිධානයක් බිහි විය. එය 'මුජහිදීන් ශුරා කවුන්සිලය' ලෙස නම් කෙරිණ. බග්දාදී ප්‍රමුඛ පිරිසගේ සහාය එම සංවිධානයට ලැබිණ.

2013 මුල් භාගය වන විට මෙම සංවිධානය ඉරාකය තුළ ප්‍රහාර රැසක් එල්ල කළේය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013 මුල් භාගය වන විට මෙම සංවිධානය ඉරාකය තුළ ප්‍රහාර රැසක් එල්ල කළේය

එම වසරේ අග භාගය වන විට එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකට ගොදුරු වී සර්කාවි මරණයට පත් විය. අනතුරුව මෙම සංවිධානයේ නම වෙනස් විය. එතැන් පටන් එය හැඳින්වුණේ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය (ISI) ලෙසිනි.

ISI හි ෂරියා කමිටු පැවතියේ බග්දාදී ගේ අධීක්ෂණය යටතේ ය. මෙම සංවිධානයට උපදෙස් ලබා දෙන ශුරා කවුන්සිලයට ද බග්දාදී ඇතුළු විය.

2010 වන විට ISI සංවිධානයේ නායකයා වශයෙන් සිටි අබු උමාර් අල් - බග්දාදී සහ ඔහුගේ උප නායක අබු අය්යුබ් අල් - මස්රි මරණයට පත් විය. ඒ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකට ගොදුරු වීමෙනි.

අනතුරුව නායකත්වයට පත් වුයේ අබු බකර් අල් - බග්දාදි ය.

ඔහුට උරුම වූයේ එක්සත් ජනපදය විසින් පරාජය කරනු ලැබීමට ආසන්න බවට විශ්වාස කෙරුණු සංවිධානයකි.

කෙසේ වෙතත් ISI සංවිධානය යළි නගා සිටුවීමට බග්දාදී සමත් විය. ඒ සඳහා සදාම් හුසේන් ගේ සමයේ සිටි හමුදා සහ බුද්ධි නිලධාරීන්ගේ සහාය ඔහුට ලැබුණි. බූකා කඳවුරේ දී හඳුනාගත් පිරිසගේ සහාය ද ලැබුණි.

2013 මුල් භාගය වන විට මෙම සංවිධානය ඉරාකය තුළ ප්‍රහාර රැසක් එල්ල කළේය. සිරියානු ජනාධිපති බෂර් අල් - අසාද් ට එරෙහිව අවි ගත් කැරලිකරුවන්ට ද බග්දාදී එකතු විය.

බග්දාදී සතුව ඉරාකය තුළ සිටි සිරියානු සටන්කරුවන් නැවත සිරියාවට යවා අල් - නුස්රා පෙරමුණ පිහිටවීය. සිරියාව ඔවුන්ගේ ආරක්ෂාවට ක්‍ෂේමභූමියක් විය. අවි ආයුධ ලබා ගැනීම ඉතා පහසු විය.

2014 ජුනි මාසයේ දී මෝසුල් ජය සමරන ISIS සටන්කරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2014 ජුනි මාසයේ දී මෝසුල් ජය සමරන ISIS සටන්කරුවෝ

2013 අප්‍රේල් මාසයේ දී, තමන්ගේ අණසක යටතේ සටන් කරන ඉරාකයේ බල ඇණි සහ සිරියාවේ බල ඇණි ඒකාබද්ධ කරමින් ඉරාක සහ මධ්‍යධරණී කලාපයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS සංවිධානය පිහිටවූ බවට බග්දාදී නිවේදනයක් නිකුත් කළේය.

සිරියාවේ ක්‍රියාත්මක වූ අල් - නුස්රා සහ අල් - කයීඩා යන සංවිධාන දෙකම මීට එරෙහි විය. නමුත් අල් - නුස්රා සටන්කරුවන් අතර සිටි බග්දාදී හිතවාදීන් ඉන් ඉවත් වී බග්දාදී ගේ සංවිධානයට එක් විය.

2013 වසරේ අවසානය වන විට බග්දාදී නැවතත් ඉරාකය දෙසට පුර්ණ අවධානය යොමු කරමින් සිටියේය. ඒ වනවිට ඉරාකය දේශපාලනික වශයෙන් අස්ථාවර ය. ෂියා මුස්ලිම්වරුන් ගේ ආණ්ඩුව සහ සුන්නි මුස්ලිම්වරුන් වන අරාබි ප්‍රජාව අතර ගැටුම් පැවතුනි.

එම වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින්, ඉරාක ගෝත්‍රික ප්‍රජාවගේ සහ මියගිය සදාම් හුසේන්ට පක්ෂපාතීව සිටි පිරිසගේ සහාය ඇතිව බග්දාදී ඉරාකයේ ෆලුජා ප්‍රදේශය අත්පත් කර ගත්තේය.

2014 ජුනි මාසයේ දී ඉරාකයේ මෝසුල් ප්‍රදේශය ද ISIS සංවිධානයේ සටන්කරුවන් අතට පත් විය. අනතුරුව බැග්ඩෑඩ් අගනුවර පිහිටි දකුණු දිග ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා ISIS ක්‍රියාකාරී විය. ඉතා බිහිසුණු සහ සාහසික ආකාරයට ආගමික සහ වාර්ගික සුළුතර ප්‍රජාවන් සමුලඝාතනය කිරීමේ තර්ජනාංගුලිය එසැවිණි.

2014 ජුලි මාසයේ දී මෝසුල් හි දේවස්ථානයක දේශනාවක් කළ බග්දාදී

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2014 ජුලි මාසයේ දී මෝසුල් හි දේවස්ථානයක දේශනාවක් කළ බග්දාදී

මසක් ගතවීමට මත්තෙන් ඉරාකයේ කුර්දිවරුන්ගේ පාලනයේ පැවති පෙදෙස්වලට කඩා වැදුණු ISIS සටන්කරුවෝ යසිදි ප්‍රජාව දහස් ගණනින් ඝාතනය කළහ. තවත් දහස් ගණනක් වහල් භාවයට ගත්හ.

ඉරාකයේ යසිදී ප්‍රජාවට එරෙහිව ජන සංහාරයක යෙදුනු බවට එක්සත් ජාතීන් ISIS සංවිධානයට චෝදනා කළේය.

මෙම තත්ත්වය හමුවේ, ඉරාකයේ ISIS සංවිධානයට එරෙහිව එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් බටහිර මිත්‍ර හමුදා ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළහ.

ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන සිටි බටහිර ජාතීන් කිහිප දෙනෙකුගේ ගෙල සිඳ දැමීමට ISIS කැරලිකරුවන් යොමු වීමත් සමඟ මෙම ගුවන් ප්‍රහාර සිරියාව දක්වා ද දිගු විය.

IS පරාජය

ක්‍රමක්‍රමයෙන් ISIS සටන්කරුවන් පරාජයට ළඟා වෙමින් සිටියේය. නමුත් ඒ සඳහා වසර පහක් තිස්සේ යුද්ධයක් පැවතිණි.

Iraqi Yazidis flee attacks by IS militants in the Sinjar region of Iraq (11 August 2014)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාකයේ යසිදී ප්‍රජාවට එරෙහිව ජන සංහාරයක යෙදුනු බවට එක්සත් ජාතීන් ISIS සංවිධානය චෝදනා කරයි

මෝසුල් නගරය ඉරාක හමුදාව අතට නැවත පත්වූයේ 2017 ජුලි මාසයේදී ය.

ඒ සඳහා ඉරාක හමුදාවට, කුර්දි සටන්කරුවන්ගේ සහාය සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාර උපකාරී විය.

Smoke rises from Mosul following a US-led coalition air strike (9 July 2017)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝසුල් නගරය ඉරාක හමුදාව අතට නැවත පත්වූයේ 2017 ජුලි මාසයේදී ය

මෙම යුද්ධය, දෙරටේම මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි කළේය. මිලියන ගණනකට උන්හිටි තැන් අහිමි විය. නගර ගම්දනව් විනාශ විය.

ISIS සංවිධානයේ නායකයා වූ බග්දාදී ජීවතුන් අතර සිටින්නේද යන්න මේ වන විට අභිරහසකි.

මොසුල් නුවර අවසාන ISIS බලකොටුව විනාශ කිරීම සිදු වූ 2017 ජුනි මාසයේ දී සිරියාවේ රඛා නුවරට රුසියානු ගුවන් ප්‍රහාරයක් දියත් විය.

අනතුරුව රුසියාව කියා සිටියේ බග්දාදි එම ප්‍රහාරයට ගොදුරු වී "මියයන්නට ඇති" බවය.

නමුත් සැප්තැම්බර් මාසයේ දී බග්දාදී ගේ නමින් හඬ පටයක් නිකුත් විය. එමගින් බග්දාදී තම සගයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ "සතුරාට එරෙහිව යුද්ධයේ ගිනි සිළු" අවුලන ලෙසය.

Syrian Democratic Forces fighters celebrate victory against IS militants in Raqqa, Syria, on 17 October 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයේ සහය ලත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව 2017 ඔක්තෝබර් මාසයේදී රඛා නුවර ISIS ග්‍රහණයෙන් මුදවා ගත්තේය

ඔක්තෝබරයේ දී එක්සත් ජනපදයේ සහය ලත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසින් සිරියාවේ රඛා නුවර ISIS ග්‍රහණයෙන් මුදවා ගනු ලැබුණි.

2018 වසරේ අගෝස්තු දක්වා බග්දාදී ගැන හෝඩුවාවක් නොමැත. හදිසියේම තවත් හඬ පටයක් නිකුත් විණි. පරාජයන් හමුවේ පසුබට නොවන ලෙස බග්දාදී තම අනුගාමිකයන් ගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට මෝසුල් සහ රඛා ප්‍රදේශ අතහැර පලා ගිය ISIS සටන්කරුවන් සහ ඔවුන්ගේ පවුල් රැස්ව සිටියේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිය අවසාන බලකොටුව වූ හජින් නුවර තුළ ය.

නමුත් බග්දාදී ඔවුන් අතර සිටින බවට කිසිදු හෝඩුවාවක් නොමැත.

නමුත් නිල නොවන තොරතුරක් ලැබුණි. ඒ, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තුළ භේදයක් හටගෙන ඇති බවය. මෙහිදී බග්දාදී ට එරෙහි කිහිප දෙනෙකු විසින් ඔහු නායකත්වයෙන් නෙරපා හැරීමට උත්සාහ කරනු ලැබ ඇති බවත් එම නිසා බග්දාදී ට ඉරාකයේ බටහිර කලාපයේ කාන්තාරයට පලා යාමට සිදු වී ඇති බවට තොරතුරු ලැබිණි.

Suspected IS militants are detained by Kurdish-led forces near Baghuz, Syria (30 January 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, IS ආධාරකරුවන් ලෙස සැක කෙරෙන දහස් ගණනක් සහ ඔවුන්ගේ පවුල් හි සාමාජිකයන් භාගූස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් විය

2019 මාර්තු මාසයේ දී IS සංවිධානය සතුව සිරියාවේ තිබු අවසාන බලකොටුව ද ඔවුනට අහිමි විය. ඒ භාගූස් ගම්මානයයි. එය සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව අතට පත් විය. එය බග්දාදී ප්‍රකාශයට පත් කර තිබූ "ඉස්ලාමීය රාජ්‍යයේ" නිල අවසානය සනිටුහන් කළේය.

IS ආධාරකරුවන් ලෙස සැක කෙරෙන දහස් ගණනක් සහ ඔවුන්ගේ පවුල් හි සාමාජිකයන් භාගූස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් විය.

සිරියාවේ "විමුක්තිය" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රශංසාවට ලක් විය. එමෙන්ම, "අපි සුපරීක්ෂාකාරීව බලාගෙන සිටින්නෙමු," යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.

කෙසේ නමුත්, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට හිතැති දහස් ගණනක් කලාපය පුරා සන්නද්ධ ව සිටින බවට විශ්වාස කෙරුණි. ඔවුහූ ඉරාකය තුළ ප්‍රහාර දියත් කරමින් සිටියෝය.

ඉරාක රජයට පීඩාකාරී තත්ත්වයක් ඇතිකිරීම, රටේ අරාජිකත්වයක් ඇතිකිරීම මෙන්ම විනාශ වූ රට නැවත ඉදිකිරීමට සහ සංහිඳියාවට දරන උත්සාහයන් කඩාකප්පල් කිරීම ඔවුන්ගේ අරමුණු විය.

2019 අප්‍රේල් මාසයේදී බග්දාදී පෙනී සිටින වීඩියෝ පටයක් නිකුත් විය. එය වසර පහකට ආසන්න කාලයකට පසුව නිකුත් වූ පළමු වීඩියෝ පටය යි.

නමුත් මෙම වීඩියෝ පටයේ බග්දාදී පෙනී සිටියේ කලින් වතාවේ මෙන් දේවස්ථානයක ධර්මාසනයක් මත නොවේ. බග්දාදී සිටියේ බිම වාඩි ලා ගෙනය. ස්වයංක්‍රීය තුවක්කුවක් පසෙකින් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, බග්දාදී සිටියේ බිම වාඩි ලා ගෙනය. ස්වයංක්‍රීය තුවක්කුවක් පසෙකින් විය

තම සතුරන්ගේ ආර්ථික, මානව, හමුදා සහ ප්‍රවර්ධන මර්මස්ථාන වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලෙස බග්දාදී සිය අනුගාමිකයන්ගෙන් බලවත් ඉල්ලීමක් කළේය.

මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ කවදා ද යන්න පැහැදිලි නැත. නමුත් බග්දාදී සෞඛ්‍ය සම්පන්නව සිටින බව නම් පැහැදිලි ය. ඔහු සමඟ තවත් දෙතුන් දෙනෙකු ඒ අසල ම විය. ඔවුන්ගේ මුහුණු ආවරණය කර හෝ බොඳ කර තිබුණි.

තමන් තවමත් නායකත්වයේ සිටින බවට පෙන්වීම සඳහා බග්දාදී දැරූ උත්සාහයක් ලෙස විශ්ලේෂකයෝ මෙම වීඩියෝව සැලකූහ.

ඉන්පසු, මාස කිහිපයක් බග්දාදී ගෙන් කිසිවක් නෑසුණි. සැප්තැම්බරයේ දී තවත් හඬ පටයක් නිකුත් විණි. "විවිධ ප්‍රදේශවල දිනපතා මෙහෙයුම්" දියත් කෙරෙන බව මෙම හඬ පටයේ බග්දාදී ප්‍රකාශ කරයි.

සිරියානු හමුදා ග්‍රහණයේ සිටින තම ආධාරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල කාන්තාවන් සහ දරුවන් නිදහස් කර ගන්නා ලෙසට බග්දාදී සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

The reported site, in the north-western Syrian province of Idlib, of a raid by US special forces commandos targeting Islamic State group leader Abu Bakr al-Baghdadi (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්තෝබර් 23 උදා විය. සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ බරිෂා ගම්මානයට එපිටින් ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කළේය

ඔක්තෝබරය එළැඹිණි. සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සිටි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවට තුර්කි හමුදා ප්‍රහාරයක් එල්ල විය. එක්සත් ජනපද හමුදා භටයන් මෙම කලාපයෙන් ඉවත් කර ගැනීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේ ද මේ අතරවාරයේ දී ය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙම ආනාරක්ෂිත තත්වයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන යළි නැගී සිටිනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් විණි.

මේ අතර ප්‍රහාර කිහිපයක් දියත් විය. IS ආධාරකරුවන් යැයි සැක පිට රැඳවුම්භාරයේ සිටි සිය ගණනක් පලා ගියහ.

තමන්ට එල්ලවන විවේචන ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

"තුර්කිය සහ සිරියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් එක් වී කටයුතු කළ යුතුයි. IS සංවිධානයට නැවතත් හිස එසැවීමට ඉඩ නොතැබීම සඳහා ඔවුන් වග බලා ගත යුතුයි. ඒක ඔවුන්ගේ අසල්වාසී කලාපය. ඔවුන් එය රැක බලා ගත යුතුයි." ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

ඔක්තෝබර් 23 උදා විය. සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ බරිෂා ගම්මානයට එපිටින් ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කළේය. සිරියානු ජනාධිපති අසාද්ගේ ප්‍රතිවාදීන්ට අයිතිව තිබෙන අවසාන බලකොටුව මෙයයි.

මෙම විශේෂ මෙහෙයුමේ ඉලක්කය වූයේ බග්දාදී ය. කෙසේ නමුත් බග්දාදී සැඟවී සිටින බවට විශ්වාස කෙරෙන ස්ථානයට මෙතැන් සිට තවත් කිලෝ මීටර සිය ගණනක් දුර ය.

Rubble of building destroyed during US raid near the Syrian village of Barisha (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු හෙලිකොප්ටර් යානා පැමිණ නිවාස දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එක් නිවසක් බිමට සමතලා වූ බවත් බරීෂා ගම්වැසියෙක් පැවසීය

මෙම මෙහෙයුම අතරතුර බග්දාදී ළමුන් තිදෙනෙකු සමඟ බිම්ගෙයක් තුළට රිංගා ගත් බවත් හමුදා සුනඛයන් ඒ තුළට යැවූ අවස්ථාවේ බග්දාදී සිය බෝම්බ කබාය පුපුරවාගත් බවත් ජනපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට නිවේදනය කළේය. බිම්ගෙය තුළ සිටි සිව් දෙනාම මිය ගිය බව ද ට්‍රම්ප් පැවසීය.

ජනපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ, බග්දාදී ගේ සිරුර කැබලිවලට වෙන් වී ඇති නමුත් DNA පරීක්‍ෂණයක් බැගින් අනන්‍යතාව තහවුරු වී ඇති බවය.

"ඔහු බල්ලෙක් වගේ මිය ගියා. ඔහු බියගුල්ලෙක් වගේ මිය ගියා. දැන් ලෝකය වඩා යහපත් තැනක්." ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.