අබු බකර් අල්-බග්දාදි: අයි එස් නායකයා මිය ගිය විශේෂ මෙහෙයුම ගැන කරුණු

Syrian women and children gather at the site of a US raid near the Syrian village of Barisha (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

අයිඑස් (ඉස්ලාමීය රාජ්‍ය) සංවිධානයේ නායකයා ලෙස සැලකුණු අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකානු හමුදා ක්‍රියාන්විතයක් අතරේදී සිය දිවි නසාගත් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

අබු බකර් අල්-බග්දාදි මරුමුවට පත්වූ එම විශේෂ මෙහෙයුම සිදුවූයේ මෙසේය.

මෙහෙයුම කුමන ප්‍රදේශයක, කවදා ක්‍රියාත්මක වූයේ ද?

රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ, ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් හමුදා විසින් "සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කළ අනතුරුදායක මෙහෙයුමක්" අතරතුර "ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී නායකයා" ජීවිතක්ෂයට පත්වූ බවය.

Screengrab of video released on 30 April 2019 showing Abu Bakr al-Baghdad at an undisclosed location

ඡායාරූප මූලාශ්‍රය, AFP

සෙනසුරාදා දිනයේදී වොෂිංටන් අගනුවර පිහිටි හෙළි නොකළ ස්ථානයකින් පස්වරු 5.00න් පසු විශේෂ හමුදා ප්‍රවාහනය කළ හෙලිකොප්ටර් යානා පිටත් වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඒ අවස්ථාවේ ඔහු සහ සෙසු නායකයින් ධවල මන්දිරයේ හදිසි අවස්ථා පිළිබඳ කාමරයේ රැදී සිටි බව ද ට්‍රම්ප් පැවසීය.

භූමියේ මෙහෙයුමට පැය දෙකක් පමණ ගත වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේය.

ඇමෙරිකානු බලධාරීන් එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඉරිදා (ඔක්: 27) දිනයේ අලුයම් කාලයේ ඇමෙරිකානු විශේෂ හමුදා බළකාය සිරියාවේ තුර්කි දේශ සීමාවේ සිට කිලෝමීටර් 5 ක් දකුණින් පිහිටි ඉඩ්ලිබ් පළාතේ බැරීෂා ගම්මානයෙන් පිටත පිහිටි කුඩා පරිශ්‍රයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.

අබු බකර් අල්-බග්දාදි

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂයේ අවසාන බලකොටුව ඉඩ්ලිබ් විය. එම කලාපයේ බලය අයි එස් සංවිධානයට ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වූ ජිහාඩ් සන්ධානයක් සතුව පැවතිය ද, එම ප්‍රදේශයේ අයි එස් සාමාජිකයින් සිය ගණනක් රැදී සිටි බව විශ්වාස කෙරිණි. රුසියානු සහය සහිත සිරියානු යුද්ධ හමුදාව එම ප්‍රදේශයේ නැගෙනහිර, බටහිර සහ දකුණු ප්‍රදේශයන්හි රැකවල් ලා සිටියහ.

මෙහෙයුම සිදුවූයේ කෙසේ ද?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, මෙහෙයුම දියත් කිරීමට පෙර සති කිහිපයක් පුරා ඇමෙරිකානු බුද්ධි අංශ බග්දාදි පිළිබදව නිරන්තරයෙන් නිරීක්ෂණය කළ බවය. එම නිරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ, ඔහු සැගවී සිටි පරිශ්‍රයේ උමං මාර්ග විශාල සංඛ්‍යාවක් පැවති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් අනෙක් පස විවර නොවූ (dead-end) ඒවා බවය.

ඒ අනුව, හෙලිකොප්ටර් යානා 8ක්, තවත් නෞකා සහ ගුවන් යානා රැසක් සමගින් විශේෂ බළකා සාමාජිකයින් "විශාල කණ්ඩායමකින්" සමන්විත වූ මෙහෙයුමකට ජනාධිපතිවරයා සෙනසුරාදා අවසර දුන්නේය.

අබු බකර් අල්-බග්දාදි

හෙලිකොප්ටර් යානා තුර්කිය හරහා මෙන් ම සිරියානු සහ රුසියානු හමුදා විසින් පාලනය කරන ලද භූමිය හරහා පියාසර කර තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ පරිදි වැටලීමේ අරමුණ නොපැවසුව ද රුසියාවේ සහය ලැබුණු අතර ඔවුන් ඒ සඳහා ගුවන් අවකාශය "විවෘත" කර තිබිණි.

"පිටත සහ ඇතුළත සිදුවුණ සටන් ඉතා ම අනතුරුදායකයි. අපට හිතාගන්න බැරි තරමේ වෙඩි ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබුණා. ඒ නිසා අපි අවස්ථානුකූලව ඉතා පහළින් මෙන්ම ඉතා වේගයෙන් අපේ යානා පියාසර කළා," ඔහු පැවසීය.

අදාළ ස්ථානය වෙත හෙලිකොප්ටර් යානා ළඟා වන විට "වෙඩි ප්‍රහාරයක්" එල්ල වූ අතර එය "වහා මැඩ පැවැත්වූ" බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

බැරීෂාහි ගම් වැසියෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඇමෙරිකානු හමුදා භූමියේ ක්‍රියාත්මක වීමට පෙර මිනිත්තු 30ක් පමණ හෙලිකොප්ටර් යානාවල සිට වෙඩි ප්‍රහාර එල්ල කළ බවය. හෙලිකොප්ටර් යානාවලින් නිවාස දෙකක් ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකකින් එක් නිවසක් සුණුවිසුණු වී ගිය බව ඔහු පැවසීය.

Rubble of building destroyed during US raid near the Syrian village of Barisha (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ උගුල් අටවා තිබූ හෙයින් හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමෙන් පසු විශේෂ හමුදා බළකායේ සාමාජිකයින්, එහි බිත්ති සිදුරු කර ඊට ඇතුළු වී ප්‍රධාන දොරටුවේ අටවා තිබූ උගුල් ඉවත් කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ජනාධිපතිවරයා පැවසුවේ, "කෑගසමින් හඬමින් විවරයක් නැති උමගක් තුළට දිව යාමෙන් අනතුරුව" බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බවය.

"ඒ මොහොතේ වෙඩි වැදුණු සහ ජීවිතක්ෂයට පත්වුණු මෙන්ම භාර වුණු පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා. නිවසේ සිටි දරුවන් 11 දෙනෙක් තුවාල රහිතව ඉවතට ගත්තා. ඊට පස්සේ උමගේ ඉතිරි වෙලා හිටියේ බග්දාදි සහ ඔහු විසින් මරණය කරා රැගෙන යන ලද දරුවන් තිදෙනෙක් පමණයි," ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

Wreckage of vehicle destroyed during US raid near the Syrian village of Barisha (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

"අපේ ආරක්ෂක සුනඛයින් ඔහු පසුපස හඹා යද්දී උමගේ අවසානයට ආවා. ඒ වෙලාවේ ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන ඔහු සමග සිටි දරුවන් තිදෙනාත් සමග සිය දිවි නසා ගත්තා. ඔහුගේ මළ සිරුර එමනිසා විකෘති වෙලා තිබුණා."

විනාශ වුණු ගොඩනැගිල්ලක සුන්බුන් සහ වෙඩි උණ්ඩ වැදුණු සිදුරු සහිත ගිනිබත් වූ රථයක් (මිනි බස් - minibus) ඇමෙරිකානු හමුදා මෙහෙයුමෙන් පසු රූපගත කළ ඡායාරූප සහ වීඩියෝවල දැක්විණි.

බග්දාදි මියගිය බවට ඇමෙරිකාවට විශ්වාස ඇයි?

ට්‍රම්ප් පැවසුවේ, උමග තුළදී පුපුරුවා ගැනීමකින් මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔහු බග්දාදි බව නිශ්චිතව හදුනාගෙන ඇති බවය.

"ඒ වේගවත් ව කෙරුණේ ඔහු ජීවිතක්ෂයට පත්වීමෙන් මිනිත්තු 15කට පමණ පසුවයි."

විශේෂ බළකායේ නිලධාරීන් සමග ගොස් සිටි තාක්ෂණික නිලධාරීන් එම ස්ථානයේදී ම අදාළ පරීක්ෂණ සිදු කළ අතර බග්දාදිගේ ඩීඑන්ඒ සාම්පල ඔවුන් සතුව තිබූ බව ජනාධිපතිවරයා පැවසීය. ට්‍රම්ප් පවසන පරිදි තාක්ෂණික නිලධාරීන් බග්දාදිගේ ශරීරයේ "වැදගත් කොටස්" නැවත හෙලිකොප්ටර්වලින් රැගෙන විත් තිබේ.

බග්දාදිගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන් තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නොමැත. ඇමෙරිකානු නිවේදනය විශ්වාස කිරීම සම්බන්ධයෙන් අයි එස් ආධාරකරුවන් අනතුරු අගවා තිබේ.

වෙනත් ජීවිත හානි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, "මෙහෙයුම අතරතුර කිසි ම ඇමෙරිකානුවකුගේ ජීවිත අහිමි වුණේ නෑ. බග්දාදි සමග ඔහුගේ සටන්කරුවන් සහ සගයින් විශාල සංඛ්‍යාවක් මිය ගියා," යනුවෙනි.

Syrian children walk past a minibus damaged during a US raid near the Syrian village of Barisha (27 October 2019)

ඡායාරූප මූලාශ්‍රය, AFP

මිය ගිය පුද්ගලයින් අතර බග්දාදිගේ බිරියන් දෙදෙනක් වූහ. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, එම කාන්තාවන් දෙදෙනා ම මරාගෙන මැරෙන ඇඳුම් ඇඳ සිටි අතර ඒවා පුපුරා නොගොස් තිබිණි.

බග්දාදි මිය ගිය උමග තුළදී ඇමෙරිකානු ආරක්ෂක සුනඛයෙකු තුවාල ලබා තිබිණි.

මෙම මෙහෙයුමේදී අල්ලා ගනු ලැබූ අයි එස් සාමාජිකයින් හෝ දරුවන් තුවාල ලබා තිබූ බවට පැහැදිලි වී නොමැත. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, අයි එස් සටන්කරුවන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින අතර දරුවන් "යමෙකුගේ භාරයේ තබා ඇති" බවය. ඔවුන් කවුරුන් භාරයේ සිටී ද යන්න හෙළි කළේ නැත.

බග්දාදි ඉඩ්ලිබ්හි සිටියේ ඇයි?

බග්දාදි සැගවී සිටි බවට විශ්වාස කළ ඉඩ්ලිබ්හි බැරීෂා ප්‍රදේශය සිරියානු - ඉරාක දේශ සීමාවේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටා තිබේ.

ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකානු සහය ලැබූ කුර්දි හමුදා විසින් මාර්තු මාසයේදී නැගෙනහිර සිරියාවේ ගම්මානයක් වන බාඝස් ආශ්‍රිත ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව අයි එස් සංවිධානය නැවත ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් බග්දාදි ඉඩ්ලිබ්හි සිටි බවය.

"ඒ නිසයි ඔහු එම ප්‍රදේශයට ගියේ. අයි එස් සංවිධානය යළි ගොඩනගන්න තිබුණ හොද ම ප්‍රදේශය ඒකයි," ජනාධිපතිවරයා පැවසීය.

ඔහු පැවසුවේ, මෙම මෙහෙයුමේදී බග්දාදිගේ අනාගත සැලසුම් පිළිබඳ වැදගත් බුද්ධි තොරතුරු සොයා ගත් අතර, අයි එස් නායකත්වය භාර ගන්නා ඕනෑ ම අයෙකු පසුපස ඇමෙරිකාව ලුහුබැඳ යන බවය.

"අපි දන්නවා ඊළගට නායකත්වයට පත්වෙන්නේ කවුද කියලා. අපි මේ වන විටත් ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ."

තවදුරටත් කියවන්න.