මිනිස් දේහයේ හැඩයට තැනූ පෞරාණික මිනී පෙට්ටි සමුහයක් සොයා ගනී

ඡායාරූප මූලාශ්‍රය, EGYPT ANTIQUITIES MINISTRY
මිනිස් දේහයේ හැඩයට තනා ඇති පෞරාණික මිනී පෙට්ටි විස්සකට අධික ප්‍රමාණයක් සොයා ගත් බව ඊජිප්තුවේ බලධාරීහු නිවේදනය කළහ.
මෙම දැවමුවා මිනී පෙට්ටි සමූහය හමුවී ඇත්තේ එරට පුරා විද්‍යාඥයන් විසින් කරන ලද කැණීම්වලදී ය.
දීප්තිමත් වර්ණ යොදා ගනිමින් මෙම පුරාණ මිනී පෙට්ටි අලංකාර කොට ඇති අතර එම වර්ණ තවමත් දැක ගත හැකි තත්වයේ පවතී.

ඡායාරූප මූලාශ්‍රය, EGYPT ANTIQUITIES MINISTRY
ඊජිප්තුවේ ලක්සොර් නගරයේ නයිල් ගං ඉවුර අසබඩ කරන ලද කැණීම්වලදී හමුවූ මෙම මිනී පෙට්ටි වලදමා තිබී ඇත්තේ එකක් මත එකක් සිටින සේ ස්තර දෙකකට ය.
ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ අමාත්‍යංශය මෙය හඳුන්වා දී තිබුණේ මෑත ඉතිහාසයේ "විශාලතම සහ වැදගත් ම සොයා ගැනීම්වලින් එකක්" ලෙසිනි.
මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතය.
මෙම මිනී පෙට්ටි සමූහය හමු වූ පෞරාණික සුසාන භූමියේ (Theban necropolis of Asasif) පවතින බොහොමයක් සොහොන් කොත් අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 664-332 අතර කාලපරිච්ඡේදයට ය.

ඡායාරූප මූලාශ්‍රය, EGYPT ANTIQUITIES MINISTRY
නමුත් ක්‍රිස්තු පූර්ව 1550-1292 අතර කාලපරිච්ඡේදයට අයත් 18 වැනි රජ වංශයේ සොහොන් කොත් ද එම සුසාන භූමියේ පවතී.
ලක්සොර් නගරය හරහා ගලා යන නයිල් ගංගාවේ බටහිර ඉවුර අසබඩ කෙරුණු කැණීම්වලදී පෞරාණික "කර්මාන්ත පුරයක්" ද හමු වූ බව ඊජිප්තු බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කළහ.

මෙම "කර්මාන්ත පුරය" තුළ "අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ පිරිසිදු කිරීමේ සහ ගබඩා කිරීමේ පහසුකම් සහිත ඉදිකිරීම්" පැවතුණු බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එහි තිබී හමුවූ මැටි භාජන බොහොමයක් 18 වැනි රාජ වංශයට අයත් ඒවා බව ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ අමාත්‍යංශය පැවසීය.









