ඊජිප්තුව: වසර 3,200 ක් පැරණි සොහොනකින් චීස් හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY OF CATANIA AND CAIRO UNIVERSITY
ලොව මෙතෙක් සොයාගත් පැරණිම චීස් වර්ගයක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යයක් ඊජිප්තුවේ පැරණි සොහොනක කැණීම් කරමින් සිටි පුරාවිද්‍යාඥයින් හට හමුවී තිබේ.
පුරාණ ඊජිප්තුවේ ඉහළ නිලධාරියෙකු වූ ටාහ්මීස් (Ptahmes) ගේ සොහොනේ කැණීම් කළ පුරාවිද්‍යාඥයින් හට මීට වසර කීපයකට ඉහතදී බිඳුණු බඳුන් කීපයක් හමුවිණි.
ඉන් එක් බඳුනකින් හමුවූ "ඝන සුදු පැහැයට හුරු ද්‍රව්‍යයක්" ආහාරයක් විය හැකි බව සැක කෙරුණ ද එය කෙබන්දක්දැයි නිශ්චිතව කිව නොහැකි විය.
ඒ පිළිබඳ කෙරුණු අධ්‍යයනයකට අනුව එය මීට වසර 3,200 ට ඉහතදී පරිභෝජනයට ගැනුණු චීස් ලෙස දැන් හඳුනාගෙන ඇත.
පුරාණ ඊජිප්තු චීස් නිෂ්පාදනයක් පිළිබඳ මීට පෙර සාක්ෂි හමුවී නැති බැවින්, මේ සොයාගැනීම ඉතා සුවිශේෂී බව Analytical Chemistry සඟරාවේ සිය අධ්‍යයන වාර්තාව පළකළ කතුවරු පවසති.
"විශ්ලේෂණය කෙරුණු මේ ද්‍රව්‍යය බොහෝවිට චීස් පිළිබඳ මෙතෙක් පුරාවිද්‍යාත්මකව සොයාගත් පැරණිතම ඝන ශේෂය වෙන්න පුලුවන්" යැයි එහි අනන්‍යතාව නිර්ණය කරගැනීම සඳහා ඊජිප්තුවේ කයිරෝ විශ්ව විද්‍යාලයේ සගයින් හා එක්ව ක්‍රියා කළ සිසිලි හි කැටනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය එන්රිකෝ ග්‍රෙකෝ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY OF CATANIA AND CAIRO UNIVERSITY
පැරණි චීස් "සැබවින් ම අම්ල" ගතියකින් යුතු ස්වභාවයක් තිබෙන්නට ඇතැයි චීස් පිළිබඳ ඉතිහාසඥයකු මෙන්ම රසායන විද්‍යා මහාචාර්යවරයෙකු වන පෝල් කින්ස්ටඩ් (Paul Kindstedt) නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත.
පර්යේෂකයින් පවසා තිබුණේ, බෘසෙලොසිස් (brucellosis) නම්වූ අසාදනය වන රෝගී තත්ත්වයකට හේතුවන බැක්ටීරියාවක් ද සොයාගත් බවකි. එම රෝගී තත්ත්වය හටගැනෙන්නේ පාස්චරීකරණය නොකළ කිරි නිෂ්පාදනවලිනි.
උණ, දහදිය ගැලීම හා මස්පිඬු වේදනාව එහි රෝග ලක්ෂණ වන අතර, මේ රෝගය අද පවා දක්නට ලැබේ. බැක්ටීරියාව පිළිබඳ තත්ත්වය තහවුරු වුවහොත්, එවැනි රෝගී තත්ත්වයක් පිළිබඳ පැරණිත ම සාක්ෂිය මෙය වේ.
මෙම චීස් සොයාගන්නා ලද සොහොන අයත් ටාහ්මීස් (Ptahmes) පැරණි ඊජිප්තු නිලධාරියෙකු වන අතර ඔහු පුරාණ මෙම්ෆිස් නගරයේ නගරාධිපතිවරයා විය.
කයිරෝ නගරයට ආසන්න සක්කාරා නම් වූ සොහොන් බිමේ වූ ඔහුගේ සොහොන මුළින්ම කණිනු ලැබුවේ 1885 වසරේදීය. එහෙත්, වැලිවලින් යටවී ගිය එය යළි සොයාගනු ලැබුවේ 2010 වසරේදීය.









