බ්‍රෙක්සිට්: බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූයේ කුමක්ද?

Outside the Supreme Court, opinions were all about Brexit

ඡායාරූප මූලාශ්‍රය, Reuters

අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීම බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීමත් සමඟ ආණ්ඩුව දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී ඇත.

අගමැති බොරිස් ජොන්සන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 10 වෙනි දිනය.

අගමැතිවරයාගේ නිර්දේශය පරිදි එලිසබත් රැජින විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ඔක්තෝබර් දාහතර (14) වෙනිදා තෙක් සති පහක කාලයකට නිල වශයෙන් අත්හිටවනු ලැබුණි.

විරෝධතා නොතකා හරිමින් එම අත්හිටුවීමත් සමඟ මන්ත්‍රීවරුන්ට ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදා දක්වා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබුණි.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීම සභාගර්භය තුළ පවා කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ අතර ඇතැම් මන්ත්‍රීවරු සටන් පාඨ ලියන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ අතර, ඔවුන්ගේ ඇතැමෙක් "ඔබ ගැන ලජ්ජයි" යනුවෙන් ඝෝෂා කරමින් අගමැතිවරයාට විරෝධය පළ කළහ.

පාර්ලිමේන්තුව අත්හිටවීමේ තීන්දුව ගැනීමට පෙර අගමැති ජොන්සන් මෙම ඔක්තෝබර් මාසයේදී හදිසි මහ මැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන ලද නමුත්, ලේබර් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහයෝගය දීම ප්‍රතික්ෂේප කළ හෙයින් අගමැතිවරයාගේ එම ප්‍රයත්නය දෙවරක්ම පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්විය.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය වේලාවෙන් සැප්තැම්බර් දහ වෙනිදා (10) අලුයම දෙක උදාවීමට පෙර පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබුණි.

එම ක්‍රියාමාර්ගයට එරෙහිව තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව කථානායක ජොන් බර්කොව් නිවේදනය කළේය.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් රාත්‍රි කාලයෙහි සම්ප්‍රදායික වේල්ස් සහ ස්කොට්ලන්ත ගීත ගයමින් ඒ තුළම රැඳී සිටියහ.

බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති අරමුණ කුමක් වීද?

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටවීමට පියවර ගත්තේ බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත් කර ගැනීමේ සිය න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුවේ බාධාවකින් තොරව ක්‍රියාවට නංවා ගැනීමේ සැලැස්මක කොටසක් වශයෙනි.

පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා ඇති කාලයක කිසිදු විවාදයක්, ඡන්ද විමසීමක් හෝ පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් සිදු නොවන අතර එම කාලය නිම වනතුරු අගමැතිවරයාට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමක් ද සිදු නොවෙයි.

ඒ අතරම මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය සඳහා පැවති කාලය අහිමි කිරීමක් සිදු කෙරුණ අතර, පාර්ලිමේන්තුව අත්හිටවා ඇති හෙයින් ඔක්තෝබර් 31 වනවිට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා අගමැති ජොන්සන් ගෙනයමින් තිබුණ වැඩ පිළිවෙල නතර කිරීමට මන්ත්‍රීවරුන් සඳහා ඇති අවස්ථාව අහිමි කෙරෙන තත්වයක් උද්ගත වී තිබුණි.

ජොන්සන්ට එරෙහිව ජොන්සන්ගේ පක්ෂයත්

අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව ඔහු අයත් කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල කණ්ඩායමකින් පවා දැඩි විරෝධයක් එල්ල විය. කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැති ජෝන් මේජර් ද ඔවුන් අතර විය.

බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කොන්සර්වේටිව්වාදියකු වන කුක්හැම් සාමිවරයා (Lord Young of Cookham) මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පදවියෙන් ඉල්ලා අස්විය.

අගමැති බොරිස් ජොන්සන්

"අපේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුව සතු මූලික කාර්යභාරය යටපත් කර දැමීම අනතුරක්" කුක්හැම් (Lord Young of Cookham) සාමිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහිව එල්ල වෙමින් පැවති විරෝධය වඩාත් තීව්‍ර මුහුණුවරක් ගන්නා ලද්දේ, ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්‍ෂ නායිකා රූත් ඩේවිඩ්සන් (Ruth Davidson) අගෝස්තු 29 දා එම නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහි වූ කොන්සර්වේටිව් විසි දෙනෙකුට අධික "කැරලිකාර මන්ත්‍රීවරුන්" පිරිසකගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවීමට ද එම පක්ෂය පියවර ගෙන තිබුණි.

ස්කොට්ලන්ත අධිකරණයක් අගමැති ජොන්සන්ට එරෙහිව

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම පළමු පසුබෑමට ලක්වුණේ එම ක්‍රියාව නීතියට පටහැනි බව ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය (The Court of Appeal in Scotland) තීන්දු කිරීමත් සමඟය.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුළෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය (Brexit) ඉදිරියේ තිබියදී 'ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීමේ බැඳීම වැලැක්වීමේ අටියෙන්' එවැනි පියවරක් ගෙන ඇති බව අධිකරණයේ නිගමනය වේ.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිමින් පෙත්සම්කරුවන් හැත්තෑ නව (79) දෙනෙක් ස්කොට්ලන්ත අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබූ අතර ඔවුන්ගෙන් හැත්තෑ අට (78) දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විධිමත් සලකා බැලීමක් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම වළක්වාලමින්, ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවන මෙන් රැජිනට උපදෙස් දීම නෛතික වලංගුභාවයක් නොමැති පියවරක් ලෙස (inter alia declaratory) ප්‍රකාශයට පත් කරන ලෙස එම පෙත්සම්කරුවෝ ඔවුන්ගේ පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය විසින් දෙන ලද ඉහත කී තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව එම තීන්දුව ප්‍රකාශයට පත් වූ වහාම බ්‍රිතාන්‍ය ආණ්ඩුව කියා සිටියේය.

"ශක්තිමත් අභ්‍යන්තර ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයක් පෙරට තැබීමට එක්සත් රාජධානියේ ආණ්ඩුවට අවශ්‍යයි. පාර්ලිමේන්තුව අත්හිටුවීම නීත්‍යානුකූල පියවරක්. ශක්තිමත් අභ්‍යන්තර ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයක් පෙරට තැබීමට එය අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගයක්," ඩවුනින්' වීදියේ අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බොරිස් ජොන්සන් දුෂ්කර අඩියක

අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ ස්කොට්ලන්ත ජාතික මන්ත්‍රීවරුන් හැත්තෑවක් සහ හිටපු අගමැති ජෝන් මේජර් විසින් වත්මන් අගමැති ජොන්සන්ගේ ක්‍රියාව අභියෝගයට ලක්කළ අතර, ස්කොට්ලන්ත ජාතික මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් කරුණු දක්වමින් "බොරුවේ පියා විසින් පාර්ලිමේන්තු මාතාව වසා දමන ලදැයි" (mother of parliaments closed down by the father of lies) අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

එම නීතිවේදියාගේ තර්කය වුණේ "අධිකරණය ආණ්ඩුවේ ලියකියැවිලි කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු" බවය.

අධිකරණ විනිසකරුවන් පාර්ලිමේන්තුව සම්බන්ධ කාරණයකට මැදිහත්වීම "තහනම් දේශයකට අතුල්වීමක්" වනු ඇතැයි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීම දේශපාලන කාරණයක් යයි සඳහන් කළ එම නීතිවේදියා "විනිසුරුවරුන් ඊට මැදිහත්වීම අනතුරුදායක බෝම්බ පිරුණ බිමකට පිවිසීමක් වනු ඇතැයි අනතරු ඇඟවීමක් ද කළේය.

බ්‍රිතාන්‍ය අධිකරණ විනිසකරුවන් සාමාන්‍යයෙන් රටේ අගමැතිවරයාට එරෙහිව තීන්දු ප්‍රකාශයට පත් නොකරන අතර එම සම්ප්‍රදායේ වෙනසක් සිදු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව දෙන ලද තීන්දුවත් සමඟ අගමැති බොරිස් ජොන්සන් දේශපාලනමය වශයෙන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී සිටියි.

"අගමැතිවරයා රැජිනට දී ඇති උපදේශය නීතියට පටහැණි වන අතර එය මග හැරිය යුතු එසේම කිසිදු බලපෑමක් නොමැති" නිර්දේශයක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කර ඇත.

පාර්ලිමේන්තුව කිසිදු අවස්ථාවක බලාත්මක අත්හිටුවීමකට ලක්ව නොමැත යන්න අධිකරණ තීන්දුව වෙයි.

අගමැති ජොන්සන් පදවියෙන් ඉවත්ව යා යුතුව ඇතැයි ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීහු දැනටමත් ප්‍රකාශ කර ඇත.

බදාදා (සැප්තැම්බර් 25) පාර්ලිමේන්තුව රැස්වෙන බව කතානායක ජෝන් බර්කොව් විසින් තහවුරු කරනු ලැබ ඇත.