ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
TWITTER : නිරුවත් ඡායාරූප කළින් හඳුනා මකා දමන මෘදුකාංගයක්
ට්විටර් (Twitter) ඔස්සේ පුද්ගලික පණිවුඩ ලෙස අනවසරයෙන් යොමුකෙරෙන පුරුෂ ලිංගේන්ද්‍රිය දැක්වෙන ඡායාරූප කළින් හඳුනාගෙන ඒවා මකා දැමිය හැකි මෘදුකාංගයක්, ඇමෙරිකාවේ සියැටල් හී පර්යේෂකයින් පිරිසක් විසින් නිර්මාණය කරනු ලබමින් සිටිති.
මේ සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුණේ කෙල්සි බ්‍රෙස්ලර් නමැති මෘදුකාංග නිර්මාණ ශිල්පිණිය වෙත කිසියම් පුද්ගලයෙකු නග්න ඡායාරූපයක් එවීමෙන් පසුවය.
ඒ අනුව, පණිවිඩය ලබන්නා එය දැකගැනීමටත් පෙර එහි ඇති පුරුෂ ලිංගය දැක්වෙන ඡායාරූප හඳුනාගෙන ඒවා මකා දැමිය හැකි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් සැකසීම සඳහා සිය මිතුරකුට සහය වන්නීය.
සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙවැනි සයිබර් අවකාශය තුළ වෙනත් අයගේ නිරුවත් දැක්වීම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ මාධ්‍යවලට බොහෝ දේ කළ හැකි බව ඇය පවසන්නීය.
"ඔබේ එකඟතාවකින් තොරව එවැනි ඡායාරූපයක් ඔබට ලැබුනොත් එය අගෞරවයට ලක්වූවා වැනි හැගීමක් දැනෙනවා' ඇය බීබීසී ලෝක සේවයට පැවසීය.
එය මහ මග දී යමෙකු ඔබට නග්න බව පෙන්වීමක් හා සමානයි. ඔබ ඊට එකඟවීමක් පළකරන්නේ නෑ" ඇය පෙන්වා දෙන්නීය.
සිය කෘත්‍රිම බුද්ධි පද්ධතිය පරීක්ෂා කිරීමට බ්‍රෙස්ලර් හා ඇයගේ කණ්ඩායම ගත් පියවර වූයේ, ට්විටර් හි පණිවිඩ ලබන ගබඩාවක් සකසා "විද්‍යාත්මක අවශ්‍යතාවක් වෙනුවෙන් නිරුවත් ඡායාරූප එවන්න" යැයි පුරුෂයින්ට ආරාධනා කිරීමය.
බොහෝ පිරිසක් ඔවුන්ගේ නිරුවත් ඡායාරුප ස්වේච්ඡාවෙන් යොමු කර තිබූ අතර පසුව එම පණිවුඩ ගබඩාව වසා දැමීමට එම පිරිසට සිදුවිය.
'ඉහළ සාර්ථකත්වයක්'
මූලික පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ සිය ලිංගය කූඩුවකින් ආවරණය කරගනිමින් ඡායාරූපයක් එවූ තැනැත්තෙක් පද්ධතිය "නොමග යැවූ" බවකි. එසේම තවත් අයෙක් සිය ලිඟුව දිලිසෙන සුළු ද්‍රව්‍යයකින් ආවරණය කිරීම හේතුවෙන් ද එය මෘදුකාංගයට හසු නොවිණි.
කෙසේ වෙතත් පුරුෂ ලිංග සහ නිරුවත් ඡායාරුප හඳුනාගැනීමේදී මෘදුකාංගය ඉහළ සාර්ථකතත්වයක් පෙන්වූ බව බ්‍රෙස්ලර් පවසන්නීය.
" පුවත් දැනගැනීමට Twitter පාවිච්චි කිරීමේදී මේ ගැටලුව මම නිතර අත්වින්දා . නමුත් ඊට නිසි පිළියමක් සොයන්න "Twitter" ප්‍රමාණවත් මැදිහත්වීමක් දක්වා නැහැ"
" දින කිහිපයක් ඇතුළත මේ තාක්ෂණය නිර්මාණය කරන්න හැකිනම්, එවැනි දේ නිර්මාණය කරන තාක්ෂණික සමාගම් මැදිහත් නොවෙන්නේ ඇයිදැයි වැටහෙන්නේ නැහැ" ඇය පෙන්වා දෙන්නීය.
"සමහරු කියන විදිහට ලෙහෙසිම විසඳුම තමයි පණිවුඩ වසා දැමීම. නමුත් හැසිරෙන්න නොදන්නා සමහර මිනිසුන් නිසා අපි ලෝකෙන් වසන් වෙන්නේ ඇයි" යනුවෙන් ඇය ප්‍රශ්න කරන්නීය.
සිය පරීක්ෂණය අවසන් වූ වහා මෙම නිර්මාණය Twitter සමග බෙදා ගැනීමට වුවද බ්‍රෙස්ලර් සහ ඇගේ කණ්ඩායම කැමැත්තෙන් පසුවන්නීය.
කියවන්න