ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක්
ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මෙවැනි වාර්තාගත දඩ මුදලක් අනුමත කිරීමට අදාළ කොමිසම පියවර ගත්තේ දත්තවල රහස්‍යභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධ විමර්ශනය සමථයකට ගෙන ඒමට බව ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්විණි.
එක්සත් ජනපදයේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේ 2018 වසරේ මාර්තු මාසයේ දීය.
එම විමර්ශනයට හේතු වූයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගමට ෆේස්බුක් පරිශීලකයන් මිලියන 87ක ගේ තොරතුරු විවෘත වී ඇති බවට පළ වූ වාර්තාවකි.
ඩොලර් බිලියන පහක දඩ මුදලක් පැනවීම පිළිබඳව බීබීසීය කළ විමසීමක දී අදාළ නියාමන කොමිසම හෝ ෆේස්බුක් සමාගම කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) සමාගම ෆේස්බුක් පරිශීලකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත රැස්කිරීමේ චෝදනාව පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතරවාරයේ ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාක් සකර්බර්ග් (Mark Zuckerberg) ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේ
අනාගතයේ දී එම ගැටලු විසඳීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ඔහු දුන්නේය.
සිය සමාජ මාධ්‍ය ජාලය අනිසි ලෙස යොදා ගැනීමට උත්සාහ දරන රුසියාවේ හැකරුන් සමග නිරන්තර අරගලයක නිරත වෙමින් සිටින බවත් එම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේය.
"මේක ආයුධ තරඟයක් වගෙයි. ඔවුන් නිරන්තරයෙන් අලුත් ක්‍රමයක් හොයා ගන්නවා," ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශ කර තිබිණ.
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හඳුනා ගැනීම පිණිස නව මෙවලම් වර්ධනය කරමින් සිටින බව ද ඔහු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.