හොංකොං විරෝධතා: පළමු වෙඩිල්ලේ කතාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters
(සයිරා ආෂර් සහ ග්‍රේස් සෝයි විසිනි)
ගිම්හාන සමයේදී හොංකොං හි ඇතිවූ දේශපාලනමය අර්බුදය, ප්‍රත්‍යන්ත නේවාසික ප්‍රදේශවල සිට සාප්පු සංකීර්ණ ඇති ප්‍රදේශ දක්වා වූ හොංකොං දේශයට අයත් බලප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර පැතුරුණු විරෝධතාවක් දක්වා දිගහැරිණි. සෑම විටෙකම එය ප්රචණ්ඩකාරීබවක් ඉසිලීය.
අගෝස්තු 25 වෙනිදා වැඩකරන පන්තියේ ජනතාව වෙසෙන ට්සුඑන් වාන් දිස්ත්‍රික්කය තුළ විරෝධතාවක් මතුවුයේ ජුනි මාසයේ සිට කිසිදු සිදුවීමක් වාර්තා නොවූ සතියකට පසුවය. ප්රචණ්ඩත්වයේ නරකම තත්ත්වය පහව යන්නට ඇතැයි ඇතැමෙකුගේ අපේක්ෂාව විණි.
එය යළි පැන නැගුනේ කළින් තත්ත්වයට වඩා උත්සන්න වෙමිනි. අනතුරු ඇඟවීමේ වෙඩිල්ලක් පොලිස් නිලධාරියෙකු අතින් නිකුත් විය. ජුනි මාසයේ උද්ඝෝෂණ මතුවූ තැන සිට සජීව වෙඩි උණ්ඩයක් නිකුත් වූ පළමු අවස්ථාව එය ය. එපමණක් නොව, ජල ප්‍රහාර තුවක්කුද ගෙන්වා තිබිණි. අත්අඩංගුවට ගත් දුසිම් ගණනක පිරිස අතර අවුරුදු 12 ක දරුවකු ද සිටින අතර ඔහු මේ දක්වා රඳවාගනු ලැබ සිටින පිරිස අතර සිටින ළාබාලම තැනැත්තා වේ.
හොංකොං හි සැන්දෑවක්
හොංකොං හි ගතවූ එක් සැන්දෑවක් පිළිබඳ කතාවකි මේ. ට්සුඑන් වාන් හි විරෝධතාව ද ඇරඹුණේ, නගරය පුරා පැතිරුණු උද්ඝෝෂණය සිය නේවාසික ප්‍රදේශය තුළ ද සටහන් තබන්නට අවශ්‍ය වූ පිරිසකගෙනි.
එය ක්‍රියාවට නැගීමට පැවති එකම මග වූයේ ටෙලිග්‍රෑම් හරහා යැවෙන කේතගත පණිවුඩ ය. විරෝධතා රැල්ලේ ජීව ගුණය පවත්වා ගැනීම, උපක්රමික වීම, මනා සංවිධානගතවීම හා සැපයුම් පවත්වා ගැනීම යනාදිය තහවුරු කරගැනීම සඳහා කැපවුණු දුසිම් ගණනක කණ්ඩායම් ඒ හරහා රාශිගතව සිටියහ.
දහස් ගණනක සාමාජිකයින්ගෙන් සැදුම් ලත් ඇතැම් කණ්ඩායම් ක්‍රමෝපාය සාකච්ඡා කළහ. ඊට වඩා කුඩා කණ්ඩායම් විරෝධතා මෙහෙයුම් හා පා ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු සපයද්දී එක් එක් පුද්ගලයින් සැපයුම් හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය කළ අතර තවත් සමහරෙක් පෝස්ටර් ආදිය සැකසීමට ඉදිරිපත් වූහ.
ක්වායි චුන්ග් හා ට්සුඑන් වාන් ප්‍රදේශවලින් ටෙලිග්‍රෑම් ඔස්සේ සම්බන්ධ වූ දුසිම් ගණනක පිරිසක් නැතිනම් එකිනෙකා නොහඳුනන්නන් අගෝස්තු 25 විරෝධතාව සංවිධානය කිරීමේ යෙදුණහ. 26 හැවිරිදි පොටර් ඉන් අයෙකි.

"අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නැහැ." යැයි කී ඔහු, තමන් අතරින් කවරකු හෝ මෙවන් දෙයක් කර නැති බව පැවසීය.
දින කිහිපයක් තුළ දී ප්‍රවර්ධනය, ස්වේච්ඡා වෛද්‍ය පිරිස්, සැපයුම් මිලදීගැනීම් මෙන්ම රියදුරුවරුන් ලෙස ටෙලිග්‍රෑම් හරහා මනා කොට සංවිධානගත වූ පිරිස් ට්සුඑන් වාන් ප්‍රදේශයට එක් වූහ. පා ගමන සඳහා පොලිසියෙන් අවසර ගැනීම සඳහා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ද උපදෙස් නිකුත් කෙරිණි.
අගෝස්තු 25 - පාගමනට සුදානම
මේ ගැන උනන්දුවක් ඇති ප්‍රදේශවාසීන් පරිත්‍යාග කළ ජලය, බැන්ඩේජ් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරවූ විශාල මලු 10ක් රැස් කිරීමට සැපයුම් කණ්ඩායම සමත් වූහ.
"පා ගමනට කළින්, වඩා තීරණාත්මක විය හැකි ස්ථාන හඳුනාගත් අපි ඒ තැන්වල ඇතැම් සැපයුම් වගේම ආරක්ෂිත ඇඟලුම් රැදවුවා" ස්වේච්ඡා සාමාජිකාවක වූ විටා පැවසුවාය.

"හැම දෙනාම තමන්ගේ ක්‍රමවලින් දායක වී තිබෙන නිසා මේ වැඩපිළිවෙල ඉතා විශාල එකක් වුණා" යැයි පොටර් සඳහන් කළේය.
එහෙත් ඔහු වහ වහා කියා සිටියේ තමන් මේ වැඩපිළිවෙලේ නායකයකු නොවූ බව ය. ඇත්තෙන්ම, එසේ කිව හැකි කෙනෙක් නොවිණි. මේ වැඩපිළිවෙලේ මුල් චරිත ලෙස කිසිවකු හඳුනාගත නොහැකිනම් එය අකර්මන්‍ය කිරීම ආණ්ඩුවට අසීරු බව විරෝධතාකරුවෝ දැන සිටියහ.
විශ්වීය ඡන්ද බලයක් පිළිබඳ හඬ නගමින් 2014 වසරේදී ක්‍රියාත්මක වූ 'කහ කුඩ' ව්‍යාපාරය මෙහි ආදර්ශය විය. දින 79 ක් පුරා හොංකොං හි පැවති එම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොලද අතර එම ව්‍යාපාරයට නායකත්වය සැපයුවන් සිරගත කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙවර මෙම විරෝධතා ව්‍යාපාරයේ දිශානතිය සම්බන්ධයෙන් පුළුල් තීරණ ගැනීම සඳහා LIHKG නම්වූ ප්‍රකට පණිවුඩ ජාලය භාවිත කෙරිණි. දහස් ගණන් දෙනාගේ පළකිරීම් ඡන්ද විමසීමකට යොමු කෙරුණු අතර වැඩිම කැමැත්ත ලැබෙන කවර හෝ උපක්‍රමය ක්‍රියාවට නැගිණි.
සාමකාමී පා ගමනක් සංවිධානය කිරීමෙහි පොටර් යෙදී සිටියද, මින් පෙර සිදුවූවාක් මෙන් අවසානයේදී ප්රචණ්ඩත්වය මතුවනු ඇතැයි බොහෝ විරෝධතාකරුවෝ දැන සිටියහ.
පොලිසියේ කඳුළුගෑස්වලට මුහුණ දෙමින් ඉදිරිපෙළ සකසන දැඩි මතධාරී කණ්ඩායම් කුඩා ප්‍රමාණයක් විණි. ඔවුන්ගේ ටෙලිග්‍රෑම් පණිවිඩ පුද්ගලික ඒවා විය. එවැනි එක් කණ්ඩායමකට අයත් වූ නමින් හඳුන්වා ගනු ලබන එක් අයෙකු කීවේ සිය කණ්ඩායමේ වැඩපිළිවෙල ඉතා කළින් සැකසීම නොකරන බවකි.
"විරෝධතාවලින් පසු ගැටුම් ඇතිවන සෑම විටම අපි සටන් කරනවා" ඔහු කීය. "මේ රෙජීමය තමන්ගේ පාලනය පවත්වා ගැනීම සඳහා යැපෙන්නේ පොලිසිය මතයි. අපි පොලිසිය පරාජය කළොත් ඔවුන්ට තවදුරටත් අපිත් එක්ක සාකච්ඡාවකට එම මගහරින්නට බැහැ"
ඔහු විශ්වාස කරන අන්දමට ප්රචණ්ඩ නොවන වඩා සාමකාමී කණ්ඩායම් අතර නිහඬ අවබෝධයක් ඇති බවකි. "ඊළඟට මොකක් හරි වෙන බව ඔවුන් දන්නවා" ඔහු පැවසීය.
ප.ව. 3.00 - විරෝධතා ඇරඹෙයි
ට්සුඑන් වාන් ප්‍රදේශයේ මැද කොටස දක්වා වූ කිලෝමීටර 2.5ක් වූ සැලසුම්ගත මාර්ගය ඔස්සේ වර්ෂාව මැද දහස් ගණනක පිරිසක් ඇදෙන්නට වූහ.
"හෙඋන්ග් ගොන්ග් යාහ්න් ගා යාවූ"නැතිනම් "හොංකොං ජනයා තෙල් එක්කරනවා" යනුවෙන් ඔහුවූ සටන් පාඨ කීහ. නමුත් ඉන් "ඉදිරියට යමු" වැනි දිරිමත් කෙරෙන අර්ථයක් නිරුපණය කෙරිණි. එය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් විය.

කුඩා දරුවන්, වැඩිහිටියන් හා වැඩිවිය පත් තරුණයින්ගෙන් යුතු පවුල් එහි ගැවසිණි. පොලිසිය ඒ අහලකවත් දක්නට නොවිය. මීට කළින් පැවති විරෝධතා මෙන් මෙහිදී ප්රචණ්ඩ ක්‍රියා නොවනු ඇතැයි ඔවුන් දැන සිටියා විය හැකිය.
වාහන ධාවනයෙන් වෙන් කෙරුණු කොටසකට මාර්ග බාධක යෙදු කුඩා කණ්ඩායමකට මෙය විනෝදශීලී බවක් ගෙනදුන්නා වැනිය. ඒ අතර හුන් එක අයෙකුගේ වයස යන්තමින් අවුරුදු 15 ක් විය.
තමන්ගේ මුහුණු ආවරණය කරගැනීමට එම පිරිස දැඩි උත්සාහයක නිරත වූහ.
විරෝධතා ව්‍යාපාරය ඇරඹුණු තැන සිටම සිය අනන්‍යතාව සඟවා ගැනීමේ උනන්දුවක් විරෝධතාකරුවන්ගෙන් දක්නට ලැබිණි.
කේතගත පණිවිඩ යෙදවුම් භාවිතයේදී කල්පනාකාරී වූ ඔවුන් ජනමාධ්‍යවේදීන්ට ඕනෑවට වඩා සිය පෞද්ගලික තොරතුරු දීමෙන් වැළකුණු අතර බලධාරීන්ගේ පහරදීම්වලට ලක්වෙති බියෙන් ගමනාගමනයේදී සිය පෞද්ගලික දුම්රිය බලපත් භාවිතයෙන්ද වැළකිණි.
පාගමන් පැවැත්වෙන මාර්ගයේ සිටි අවුරුදු තුන සහ හය වයසේ පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක් නිවසේ සෑදූ බත් ගුලි පිරිනැමීය.

පා ගමනේ නිල අවසානය ලෙස ට්සුවෙන් වාන් උද්‍යානය වෙත ජනගඟ ළඟා වුව ද එය එතනින් අවසන් නොවන හැගීමක් විය. නමුත් ඊළඟට අවධානය යොමුවන්නේ කවර දෙසටදැයි කිසිවෙක් දැන නොසිටියහ.
"හොංකොං දැන් තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවක" යැයි ටෙලිග්‍රෑම් ජාලය ඔස්සේ යාවත්කාලීන වන තොරතුරු දෙස බලා සිටි කලු වස්ත්‍රයෙන් සැරසී ගත් තරුණියක කීවාය.
තත්ත්වය ප්රචණ්ඩ අතට හැරුණහොත් මුහුණ දීම සඳහා අසල වූ කූඩාරමක ස්වේච්ඡා වෛද්‍ය පිරිස් අවසන් සුදානමේ යෙදෙමින් සිටියහ.
"හදිසියක් වුනොත් ස්ථානගතවීම ගැන තීරණය කරමින් සිටිනවා" ප්‍රථමාධාර සඳහා එක්ව සිටි 80ක් පමණ දෙනා අතර සිටි වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ජොනතන් පැවසීය.
මේ අතර, මීටර ගණනක් ඔබ්බෙන් වූ, කර්මාන්ත ජනපදය වෙත දිවෙන ප්‍රධාන මාර්ගයක් වන යෙඋන්ග් උක් මාර්ගයේ බාධක යොදමින් පැවතිණි. කහ පැහැති ඝන හිස්වැසුම්වලින් හා කලු පැහැති ඇඳුමින් සැරසුණු දැඩි මතධාරී විරෝධතාකරුවන් සිය ගණනක් එක්රැස් වෙමින් සිටි අතර ඉන් ඇතැම් දෙනා සාමකාමී පා ගමනේ පැමිණ ඒ වෙතට ගියවුන් ය.

ක්‍රියාදාමය වැඩිකොට පොලිසිය කුපිත කිරීම, යම් පියවරක් ගැනීම සඳහා ආණ්ඩුව පෙළඹවිය හැකි එකම මග බව දැඩි මතධාරීහු විශ්වාස කළහ. කඳුළු ගෑස් හා රබර් උණ්ඩවලට මුහුණදීමේ සුදානමින් පැමිණි ඔවුන් පොලිසියට එල්ල කිරීම සඳහා පදික වේදිකාවෙන් ගඩොල් බිඳ රැස් කිරීම තුළින් ඔවුන්ගේ අරමුණ පැහැදිලි විය. ඒ සමග එක්රැස් කෙරුණු යකඩ ගේට්ටු හා උණ පොලු බාධක අසල ගොඩ ගැසිණි.
මෙවැනි දර්ශන හොංකොං හි සුලබ දසුන් වුවත් මේ දැඩි මතධාරී කණ්ඩායම වෙතින් දැඩි සන්නද්ධ බවක් පෙනෙන්නට විය.
මෙවර ඔවුන් සතුව පෙට්‍රල් බෝම්බ ද විණි.
ප.ව. 4.50 - කැරලි මර්දන පොලිසිය පැමිණෙයි
ටෙලිග්‍රෑම් හරහා මීළඟ යාවත්කාලීන පණිවිඩය ලැබෙද්දී සිදුවීමට යන දේ ගැන ඉවක් ජනකාය අතරේ පැතිරෙන්නට විය.
"4.50 - කැරලි මර්දන පොලිසිය ඉදිරියට එනවා" පණිවිඩයෙන් කියවිණි.
යෙඋන්ග් උක් මාර්ගය දෙසට ගිය පිරිස ගියේ සිය සහයෝගය පළ කරමින් වෙන්නට යන දේ දැකබලාගන්නට ය.
ඉදිරියේ මාර්ගය හරහා එක පෙළට සිටගත් පොලිසිය තමන්ගේ උසට ඇති ආවරණවලින් තමන් ඉදිරියේ විනිවිද පෙනෙන වෙඩි නොවදින පවුරක් ගොඩනගන්නට වූහ. උද්ඝෝෂකයින්ගේ ඉදිරි පෙළ හා අසල ගවසෙන්නන් සේම මාර්ගයේ ඉහළින් ඇදෙන පාලම් මත සිටි පිරිස වෙතින් ද කෝපය පළවන්නට විය.
විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධව සිටි බොහෝදෙනාට පොලිසිය යනු වෛරයේ සංකේතයක් බවට පත්ව තිබිණි.
අවඥාවට ලක්කෙරෙන දේ හඬ නැගූ අතර ජනකාය අතර සිටි ඇතැමෙක් පොලිසිය වෙත ලේසර් කිරණ එල්ල කළේ කුපිත කිරීමේ හා පොලිස් නිලධාරීන් වෙන් කිරීමේ උපක්‍රමයක් ලෙසය.
"හොංකොං පොලිසිය දැනගෙනම නීතිය කඩනවා" යැයි යමෙකු කීය.

එක්වරම, දැඩි මතධාරීන්ගෙන් ඇතැමෙක් පොලිසිය සිටින දෙසට මීටර 50ක් අතර දුරකට සිය බාධක තල්ලු කළහ. කුඩ දිගහරිමින්, ජලය පිරවූ ප්ලාස්ටික් බාධක පිටුපසින් ඔවුන් ඇදුනේ ගඩොල් හා යකඩ මුගුරුවලින් සන්නද්ධවය.
ඇතැමෙක් බිත්තරවලින් පහර දුන්හ. පොලිසිය ඉදිරියට ඒම වැළක්වීම සඳහා සමහර දෙනා සබන් හා බැටරි මාර්ගයේ ඉසිනු ලැබුහ.
"අපි උත්සාහ කරන්නේ අපේ හැගීම් හෙළිකරන්න. පොලිසිය විරෝධතාකරුවන්ට හා පොලිසියට එරෙහිව බලය පාවිච්චි කරනවා යැයි අපි හිතනවා. මේ ගැන හඬ නගලා මේ වගේ පිස්සු විකාර නවත්තන්න ඕනෑ" සම්පුර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන සිටි ඉදිරිපෙළ විරෝධතාකරුවෙකු පැවසීය.
මීළඟට පොලිසිය රතු පැහැ අනතුරු ඇඟවීමේ කොඩියක් ලෙලවීය. එය, පිරිස විසුරුවා හැරීම සඳහා බලය යොදවන බවට කෙරෙන සංඥාවකි. මිනිත්තු කිහිපයකට පසු එසවුනේ කලු පැහැති කොඩියය. ඒ, කඳුළු ගෑස් විදීමේ සංඥාව ය.
ප.ව. 5.15 - සටන ඇරඹෙයි
කඳුළු ගෑස් මුහුණු ආවරණ පැළඳගත් පොලිසිය කඳුළු ගෑස් විදීමට සැරසුණහ.
පොලිසියේ ක්‍රියාපටිපාටියට අනුව, ජනතාවට අදාළ ස්ථානයෙන් ඉවත්වීමට ඉඩ සලසමින් අනතුරු ඇඟවීම හා කඳුළු ගෑස් ප්‍රහාරය අතර යම් කාල රාමුවක් තිබිය යුතුය. නමුත් මින් නොසැලෙන විරෝධතාකරුවන් තමන්ගේ ම මුහුණු ආවරණ පළඳින අතර කඳුළු ගෑස් විදීමද දැන් නිතර සිදුවෙන්නකි.
කෑකෝ ගැසීම්, කුඩවලින් තලමින් හා පොලිසියට සරදම් කරමින් උද්වේගකර වූ මිනිත්තු විස්සක කාලයක් ගෙවුණි.
"පොලිසියේ ගොඩක් දෙනා දැන් ඉන්නවා" යැයි කහ පැහැති හිස් ආවරණයකින් හා ගෑස් මුහුණු ආවරණයකින් සැරසී ඉදිරිපෙළ සිටි විරෝධතාකරුවකු පැවසීය. "තත්ත්වය ගැන තරමක බියක් තිබෙනවා. ආරක්ෂක ඇඟලුම් නැති අය ආරක්ෂිතව පිටවෙලා යාම තහවුරු කරන්න අවශ්‍යයි." ඔහු පැවසීය.
පොලිසිය විරෝධතාකරුවන් වෙතට පළමු කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාරය එල්ල කරද්දී විරෝධතාකරුවන් ද තමන්ගේ අවිය වූ පෙට්‍රල් බෝම්බ විසි කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Billy H.C. Kwok - Getty Images
දුමාරය පිරිස අතරින් ඇදෙද්දී පෙට්‍රල් බෝම්බවලින් පළමුවැන්න දෙපාර්ශවය අතර වූ හිස් ඉඩ අතරට පතිත විය.
කඳුළු ගෑස් උණ්ඩ වීථිය මත පතිත වෙද්දී ජල තුවක්කුවලින් සන්නද්ධ වූ ඇතැම් විරෝධතාකරුවන් ඒවා නිෂ්ක්‍රීය කිරීමට යුහුසුළු වූහ. නිල්පැහැති ටෙනිස් පිත්තක් අතැතිව සිටි අයෙක් එල්ලවන කඳුළු ගෑස් උණ්ඩවලට පහර දුන්නේ ඒවා යළි පොලිසිය වෙත හරවා යවමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තවත් දෙනා ගඩොල් සහ වෙනත් දේවලින් දමා ගැසුහ. උණ බට, යකඩ බාධක මෙන්ම සංඥා පුවරු කණු ද පොලිසිය වෙත ඉගිලී ගියේය.
තමන්ගේ අතැති කුඩවලින් කඳුළු ගෑස් උණ්ඩ අල්ලාගත් ඇතැම් දෙනා ඒවායින් ම පොලිසියට දමා ගැසුහ.
කළින් පැවති සාමකාමී පා ගමනට එක්වූ අවුරුදු 20 ගණන් ගෙවන ශිෂ්‍යාවකට කඳුළු ගෑස්වලින් ආරක්ෂාවීමට තරම් දෙයක් නොතිබුණා සේය. එය ඇගේ පළමු අත්දැකීම ය.
"මට බයක් නැහැ. මානසිකව මා මෙයට සුදානම්" ඇය සඳහන් කළාය.
අසල වූ සාප්පු සංකීර්ණයක සිටි ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායම්, කඳුළු ගෑස්වලට හසුවූ අයගේ රත්පැහැ ගැන්වුණු ඇස් සේලයින් දියරයෙන් සෝදා හරිමින් ද දුමාරය ආඝ්‍රාහනය කිරීම නිසා වමනය කරමින් සිටි අයට සහන සලසමින්ද සිටියහ.
ප.ව. 6.00
අලුත් අනතුරු ඇඟවීමක් ටෙලිග්‍රෑම් ඔස්සේ ලැබිණි. ඉන් කියවුණේ ජල ප්‍රහාර තුවක්කු සහිත ට්‍රක් රථ ප්‍රදේශයේ දක්නට ඇති බවකි.
මේ විරෝධතාවලදී ජල තුවක්කු ගෙන්වන ලද පළමු අවස්ථාව මෙය වූ අතර ඒවායෙහි බලය ගැන වැටහීමක් නොවූ ඇතැම් දෙනා පසු බැස්සාහ.

ඡායාරූප මූලාශ්‍රය, Billy H.C. Kwok - Getty Images
ප.ව. 6.30
බොහෝ විරෝධතාකරුවෝ හුන් තැනම සිටියාහ. තවත් දෙනා තවමත් බිම බඩගාමින් ම මුගුරු හා උණ බටවලින් පොළොවට සහ වැටට පහර දුන්හ.
මාර්ගයට ඉහළින් ඇති පාලම මතට ගොඩවූ ඇතැම් දෙනා පෙට්‍රල් බෝම්බ හා ගඩොල් විසි කළහ. එම පාලම මතට දිවෙන පඩි පෙළ ඔස්සේ දිව ගිය පොලිසිය ඔවුන් නැවත්වීමට උත්සාහ ගත්තේය.
ප.ව. 6.53
ජල තුවක්කු සහිත ට්‍රක් රථ දෙකක් පසු පසින් පෙළ සැදුනු පොලිස් නිලධාරීන් ප්‍රධාන වීථිය ඔස්සේ ඇදී එද්දී ප්‍රධාන ගැටුම අවසන් විය.
විරෝධතාකරුවන් පසු බසිද්දී ප්‍රබල ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.
අගෝස්තු 25 වෙනිදා යෙඋන්ග් උක් මාර්ගයේ හටගත් ගැටුමේ ප්‍රබලත්වය කෙසේවෙතත් එවැනි දර්ශනවලින් හොංකොං තවදුරටත් තැති නොගන්නා සෙයකි.
සැවොම කම්පනයකට පත්කරන්නට වූයේ ඉන් පසුව වූ දේ ය.
නීතියට පටහැනි ඒකරාශීවීම, අවි දැරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් ඉරිදා රඳවාගන්නා ලද 54 දෙනා අතර 12 හැවිරිදි පිරිමි දරුවකු සිටීමය. ඔහු මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද පිරිසේ ළාබාලම තැනැත්තාය. ඔහු අත්අඩංගුවට පත්වීම පිළිබඳ පුවත අන්තර්ජාලයේ පැතිරෙන්නට විය.
තමන්ව රඳවා ගනිද්දී, ඔහු සිය පවුලේ අයගේ නම් හා දුරකථන අංක හඬගා කීවේය. පසුව දැනගන්නට ලැබුනේ සමාජ සේවකයෙකු විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගන්නා ලදුව ඇප මත ඔහුව නිදහස් කරගත් බවකි.
යෙඋන්ග් උක් මාර්ගයේ උණුසුම් තත්ත්වයෙන් පැය කිහිපයකට පසුව, තමන් විසින් සකසාගන්නා ලද අවි වැනි දේ අතැති තරුණයින්ගෙන් සැදුම් ලත් කුඩා කණ්ඩායමක් ජල තුවක්කු සහිත ට්‍රක් රථවලට යා නොහැකි වීථි ඔස්සේ සරි සරන අයුරු දැකිය හැකි විය.
රාත්‍රී7.30 - අහසට වෙඩි තැබීමක්
රාත්‍රී 7.30 ට පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට විරෝධතාකරුවන් පිරිසක් හමුවිණි.
ආවරණයක් අතැතිව සිටි, පොලිස් නිලධාරීන් අතරින් එක් අයෙකු අහසට වෙඩිල්ලක් තැබීය. සති 12 ක් ගෙවුණු විරෝධතා අතරේ ජීව උණ්ඩයකින් වෙඩි තැබූ පළමු අවස්ථාව එය විණි.
සැනෙකින්, සිය ගිනි අවි අතට ගත් තවත් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් විරෝධතාකරුවන් දෙසට ගියහ.
කුඩා පොලිස් කණ්ඩායමක් වූ ඔවුන්ගේ මේ දර්ශනය, පැවති උණුසුම් තත්ත්වය තුළ දෑස් විවර කරන්නක් වූ අතර ගිනි අවි මෑනීම එම රැයේ තීරණාත්මකබවක් චිත්රණය කළේය.
පොලිසිය ඉදිරියට ඇදෙද්දී, වෙඩි තබන්නට එපා යැයි යදිමින් දණින් වැටුණු බැනියමකින් හා කොට කලිසමකින් සැරසී කුඩයක් අතැතිව සිටි මැදිවියේ තැනැත්තෙකුට එක් නිලධාරියෙකුගේ පා පහර එල්ල විණි.
ඔහු දෑත් දෙපස විහිදා නැගී සිටියේ පොලිස් නිලධාරියා ඔහු වෙත ගිනි අවිය මානද්දීය.

ඡායාරූප මූලාශ්‍රය, Eyevine
මිනිත්තු කිහිපයක් තුළ අන්තර්ජාලය හරහා හුවමාරු වූ මේ ඡායාරූපය පොලිසියේ කෘරත්වයට නිදසුනක් ලෙස විස්තර කෙරිණි. එය, . වසර 30ට ඉහතදී චීනයේ තියනාන්මෙන් චතුරශ්‍රයේදී ඛේදනීය ලෙස මර්දනය කරන ලද උද්ඝෝෂණය අවස්ථාවේදී තමන් වෙත ඇදී එන යුද ටැංකි පෙළක් අභිමුව සාප්පු බෑග් අතැතිව නිරායුධව, තනිව සිටගෙන හුන් මිනිසාගේ ප්‍රකට ඡායාරූපය වන තියනාන්මෙන් හි යුදටැංකි මිනිසා හා සංසන්දනය කිරීමටකට යොමු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් සමස්ත සිදුවීමේ දර්ශන විවිධ කෝණවලින් සමීපව පිරික්සද්දී පෙනෙන්නේ අගෝස්තු 25 සිද්ධිය වඩාත් සංකීර්ණ බවකි.
පසුව නිවේදනයක් නිකුත් කළ පොලිසිය පැවසුවේ සිය ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට කළ හැකි වෙන යමක් නොවූ බවය.
මෙයින් පසුව ද ෂාම් ෂුයි පෝ, ට්සීම් ෂා ට්සුයි මෙන්ම වරාය හරහා යන උමං ප්‍රදේශය ඇතුළු තවත් එපිටින් වූ දිස්ත්‍රික්ක වෙත විරෝධතාකරුවන් විහිද ගියහ.
මෙසේ කිරීම තුළින් විරෝධතාවලදී මන්ත්‍රයක් බඳුවූ "ජලය මෙන් සිටින්න" යන දර්ශනය ක්‍රියාවට නැගීය.
එය උකහාගෙන තිබෙන්නේ ප්‍රකට ආත්මාරක්ෂක සටන් ප්‍රවීනයෙකු වූ බෲස් ලී ගේ වැකියකිනි. එයින් හැඟවෙන්නේ ද්‍රවයක් මෙන් විවිධ ස්වභාවයන්ට අනුරූපව හැඩගැසීමේ ඇති වැදගත්කම පෙන්වමිනි. වේගයෙන් වෙනස්වන තත්ත්වයන්ට හැඩගැසීම සඳහා උද්ඝෝෂකයින්ගෙන් නැගෙන හඩක් බවට හොංකොං තුළ එය පත්ව තිබේ.
ඒ අනුව පොලිසිය රවටමින් විරෝධතාකරුවන් ක්‍රමයෙන් නගරයේ වෙනත් ප්‍රදේශ කරා යොමුවේ.
ට්සුඑන් වාන් ප්‍රදේශය තුළ ප්රචණ්ඩත්වය දිග හැරුණු රාත්‍රියක් ගෙවෙද්දී බොහෝ ප්‍රදේශවාසීන් වීථි දෙපස රැස්වෙමින් සිය සහය පළ කළහ.
බෙයිජිං පාලනයට හිතවාදී යැයි විශ්වාස කෙරුණු, ප්‍රදේශයේ ඇති කඩසාප්පුවලට විරෝධතාකරුවන්ගේ කුඩා කණ්ඩායමක් පහර දුන්නේ ප්‍රදේශයේ සිටින පාතාල කල්ලි (triad gangs) යළි ක්‍රියාශීලී වනු ඇතැයි යන බිය මතු කරමිනි.
පසුගිය ජූලි මාසයේදී සුදු කමිසවලින් සැරසුණු පාතාල කල්ලිවලට අයත් යැයි විශ්වාස කෙරුණු පිරිසක් යුඑන් ලෝන්ග් දිස්ත්‍රික්කයේදී විරෝධතාකරුවන්ට පහර දුන්හ. සති කිහිපයකට ඉහතදී ට්සුඑන් වාන් ප්‍රදේශයේදී කලු කමිස හැදී විරෝධතාකරුවන්ට පිහි පහරද එල්ල කෙරිණි.
මේ අතර ෂාම් ෂුයි පෝ දිස්ත්‍රික්කය තුළදී හුදෙකලා මිනිසෙක් කලු කමිස හැඳි විරෝධතාකරුවන් කුපිත කරවන සුළු සංකේත දෙකක් වන - පොලිස් ස්ථානයක් අසල චීන ධජයක් ලෙලවනු පෙනිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෙනෙන්නට තිබු පරිදි, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ස්ථානය තුළට ඔහුව කැඳවා ගැනිණි.
මේ විරෝධතාවලට සහය දක්වන්නන්ගේ ජීවිතවලටද නිතර එල්ලවන බාධක නොතකා හොංකොං හි එම විරෝධතාවට පුළුල් සහයක් තවමත් ලැබේ.
වඩා සාමකාමී වුවන්ගේ අදහස වන්නේ අන්තගාමී පිරිස වඩා අවදානම් බැවින්, තමන්ගේ පිරිස විශාල වශයෙන් ඉදිරියට පැමිණිය යුතු බවය.
තමන්ගේ සාමකාමී පාගමන අවසානයේදී ප්රචණ්ඩත්වය මතු වුවද, එහි සංවිධායක පොටර් කියාසිටින්නේ දැඩි මතධාරී විරෝධතාකරුවන් ද සිය අරමුණේ හිඳින බැවින් ඔවුන්ගෙන් ඈත් නොවන බවකි.
"අපේ ප්‍රතිරෝධය උත්සන්න කිරීමේ ධෛර්යයක් අප සතුව නැතිනම්, අපෙන් විශ්වාසය ගිලිහෙන අතරම අසරණභාවයේ හැගීම අපව වෙලා ගනීවි" ඔහු කියා සිටී.

අතිරේක වාර්තාකරණය: ඩැනී වින්සන්ට්, ෆෑන් වැං
ඡායාරූප: කර්ටිස් ලෝ
වීඩියෝ: ටෙසා වොං, ඇන්ඩ්‍රියා ඉල්මර්
අතිරේක ඡායාරූප: ලෑම් යික් ෆෙයි/NYT/eyevine, Reuters, Getty Images
නිෂ්පාදක: ජේම්ස් පර්සි
සංස්කාරක: කැතරින් වෙස්ට්කොට්, සමන්ති දිසානායක









