අතහැර දැමූ බිත්තරයක් අරන් හදා ගන්නා සමරිසි පෙන්ගුවින් යුවළක්

OLAF WAGNER/GETTY IMAGES

ඡායාරූප මූලාශ්‍රය, OLAF WAGNER/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ස්කිපර්' සහ 'පින්ග්'

පෙන්ගුවින් කුරුලු විශේෂවල සාමාන්‍යයෙන් බිත්තර රකිනු ලබන්නේ ගැහැණු සතුන්ය.

නමුත් එකට හැසිරෙන පිරිමි පෙන්ගුවින් දෙදෙනෙකු දෙමව්පියන් වීමේ අරමුණෙන් දෝ අතහැර දමන ලද බිත්තරයක් රකිමින් සිටින විරළ සිදුවීමක් ජර්මනියේ බර්ලින් සත්වෝද්‍යානයෙන් වාර්තා වෙයි.

එම පෙන්ගුවින් යුවළ 'ස්කිපර්' සහ 'පින්ග්' ලෙස නම් කර තිබේ.

පෙන්ගුවින් යුවල එම බිත්තරය පසුගිය ජුලි මාසයේ සිට රකිමින් සිටින බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.

සත්වෝද්‍යානයේ ප්‍රකාශක මැක්සිමිලියන් යේගර් 'බර්ලිනර් සූටුන්' නම් පුවත්පතට පවසා ඇත්තේ එම පිරිමි පෙන්ගුවින් යුවල තමන්ගේම පැටවුන් ඇතිකර ගැනීමේ උත්සහයක නිරත වන බවය.

ඔවුන් ඊට පෙර පැටවුන් බිහි කළ හැකි යැයි සිතා ගල් කැට ද රැකීම සිදුකළ බව වාර්තා වේ.

යේගර් පැවසුවේ එම විශාල ප්‍රමාණයේ පෙන්ගුවින් දෙදෙනා සත්වෝද්‍යානයේ සිටි එකම පෙන්ගුවින් කිරිල්ලිය විසින් අතහැර දමා තිබූ බිත්තරය හොඳින් රැක බලා ගන්නා බවය.

"ඒ දෙන්නා හැසිරෙන්නේ ආදර්ශමත් දෙමව්පියන් වගේ, මාරුවෙන් මාරුවට බිත්තරය රකිනවා."

සත්වෝද්‍යානය තුළ සිටින ඉරිසියාකාර ප්‍රතිවාදීන්ගෙන් ඔවුන්ගේ වටිනා 'සම්පත' බේරා ගැනීමට ඔවුහු දැඩි උත්සහයක නිරත වෙති.

නමුත් පෙන්ගුවින් දෙදෙනාට සත්වෝද්‍යානයේ භාරකරුවන්ගෙන් යම් සහයක් ලැබෙන බව වාර්තා වෙයි.

"කළ යුතු දේ දන්නවා!"

"අපිට තියෙන්නේ බිත්තරය එක් සතෙකුගේ පාද අසළ තැබීම පමණයි. එයා දන්නවා කළ යුතු දේ," සත්වෝද්‍යානයේ භාරකරු නොර්බට් ශාමෙල් පවසයි.

හය දෙනෙකුගෙන් සමන්විත පෙන්ගුවින් කණ්ඩායමක සිටින එකම කිරිල්ලිය මෑතක සිට තමාගේ බිත්තර පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන බව පෙනී ගොස් ඇත.

සත්වෝද්‍යානය තුළ 2002 පසු පෙන්ගුවින් පැටවෙකු බිහිවී නොමැත.

"සාර්ථකව පැටව් ඇතිවීමක් සිදු වුවහොත් එය සුවිශේෂයි," ශාමෙල් පැවසීය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් සත්වෝද්‍යානයේ සිටින පෙන්ගුවින් කණ්ඩායමක්

වයස අවුරුදු 10ක් පමණ වන එම පෙන්ගුවින් යුවල හැම්බර්ග් සත්වෝද්‍යානයේ සිට ගෙනෙන ලද්දේ පසුගිය අප්‍රේල් මාසයේදීය. එතැන් සිට ඔවුන් දෙදෙනා වෙන් කළ නොහැකි බව සත්වෝද්‍යාන පාලකයෝ පවසති.

සමරිසි පෙන්ගුවින් කුරුල්ලන් අලුත් දෙයක් නොවේ. එවැනි සතුන් එළිමහනේ මෙන්ම පෙන්ගුවින් ඇතිකරන ස්ථානවල ද හමුවේ.

පසුගියදා "සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන්" වෙනුවෙන් ලන්ඩන් නගරයේ පැවති පාගමනට සමගාමීව ලන්ඩන් සත්වෝද්‍යානයේ සිටින සමරිසි පෙන්ගුවින් යුවල් කීපයක් සහභාගී කරවා 'පෙන්ගුවින් ප්‍රයිඩ්' යනුවෙන් උත්සවයක් පවත්වා ඇත.

එසේම අයර්ලන්තයේ ඇති 'ඩින්ගල් ඕෂන් වල්ඩ්' නම් මින් මැදුරේ සිටින පෙන්ගුවින් කුරුල්ලන් 14 දෙනෙකු අතුරින් සමරිසි යුවල් හතරක් හඳුනාගෙන ඇත.

නමුත් 'ස්කිපර්' සහ 'පින්ග්' මුහුණ දෙන අභියෝගය තවමත් නිමවී නොමැත.

"ඊට හේතුව තමයි, අපි තවම දන්නේ නැහැ බිත්තරය සරු වෙයි ද කියලා," සත්වෝද්‍යානයේ ප්‍රකාශක මැක්සිමිලියන් යේගර් පැවසීය.

ඔවුන්ගේ උත්සහය සාර්ථක වුවහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට බර්ලින් සත්වෝද්‍යානයට පෙන්ගුවින් පැටියෙකු ලැබෙනු ඇත.

එසේ වුවහොත් 'සමරිසි' යුවලකට දාව උපන් පළමු පෙන්ගුවින් පැටියාගේ උපත එය වනු ඇත.

මේ තොරතුරුත් කියවන්න: