පාකිස්තාන හමුදා ගුවන් යානයක් නිවාස කිහිපයක් මතට කඩා වැටී 18 ක් මරුට

Pakistani soldiers cordon off the site where a Pakistani Army Aviation Corps aircraft crashed in Rawalpindi on July 30, 2019

ඡායාරූප මූලාශ්‍රය, AFP

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නගරයේ නිවාස රැසක් සහිත ප්‍රදේශයකට ආරක්ෂක හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාකිස්තාන නිලධාරීන් එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 12 දෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගුවන් යානය කඩා වැටී ඇත්තේ, දෛනික පුහුණුවක යෙදෙමින් තිබියදීය.

එය නිවාස කිහිපයක් මතට කඩා වැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති අතර පසුව අවට නිවෙස්වලට ද ගින්න පැතිරගොස් තිබිණි.

පාකිස්තාන ගුවන් අනතුර

ඡායාරූප මූලාශ්‍රය, AFP

පාකිස්තානයේ යුද්ධ හමුදා මූලස්ථානය පිහිටා ඇත්තේ, ඉස්ලාමාබාද් අගනුවර ආසන්නයේ පිහිටි රාවල්පිණ්ඩි නගරයේය.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. එම ගුවන් යානය පාකිස්තාන යුද්ධ හමුදාවේ ගුවන් ඒකකයට අයත් වූවකි.

ඒ එෆ් පී පුවත් සේවය පැවසුවේ, ප්‍රදේශ වාසීන් රැසක් අනතුර සිදුවූ ස්ථානයට රැස් වී සිටින බවය.

"ලොකු පිපිරීමක සද්දයක් ඇහිලා මට ඇහැරුණේ. එතකොට මිනිස්සු කෑ ගහමින් හිටියේ. අපි උත්සහ කළා ඒගොල්ලන්ට උදව් කරන්න. ඒත් ගින්න ගොඩක් දරුණුවට ඇවිළුණා," අසල නිවැසියෙකු වන මොහොමඩ් සදීක් පැවසීය.

තවත් නිවැසියෙකු පැවසුවේ, ගුවන් යානය කඩා වැටීමට පෙර එය ගිනිගත් බවය.

ඡායාරූපවලින් පෙනී යන්නේ, අවට තිබූ නිවාස සුන්බුන් බවට පත්ව ඇති ආකාරයයි.

පාකිස්තාන ගුවන් අනතුර

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඒ එෆ් පී පුවත් සේවයේ වාර්තාකරුවෙකු සඳහන් කළේ, ගිනිබත් වූ සුන්බුන්වලින් තවමත් දුම් පිටවන බවය. ගුවන් යානයේ කැබලි, අසල නිවාසවල වහල මත ඇතැයි ද ඔහු පැවසීය.

2010 වසරේදී ඉස්ලාමාබාද් නගරයට ආසන්න ස්ථානයකදී එයාර්බ්ලූ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 152 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පාකිස්තාන ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර එය ලෙස සැලකේ.

තවදුරටත් කියවන්න.