ඉන්දියා - පාකිස්තාන උණුසුම: ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පාකිස්තාන හමුදා ග්‍රහණයේ සිටි ඉන්දීය ගුවන් නියමුවා සිකුරාදා (මාර්තු 01) ඉන්දීය බලධාරීන් වෙත භාර දෙනු ලැබිණි.
ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාර දෙනු ලැබුවේ පාකිස්තාන - ඉන්දීය දේශසීමාවේ 'වගා' නමැති ස්ථානයේ පිහිටි හුවමාරු මධ්‍යස්ථානයේදීය.
විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පසුගිය බදාදා (පෙබ 27) පාකිස්තාන හමුදා භාරයට පත්වුයේ ගුවන් ප්‍රහාරයක් අතරතුරදීය.
පාකිස්තාන ප්‍රහාරක යානාවක ප්‍රතිප්‍රහාර නිසා ඔහු පැදවූ යානය පාකිස්තාන පාලිත කාශ්මීරයට කඩා වැටුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ඉන් අනතුරුව වාර්තා කළේය.
බ්‍රහස්පතින්දා පාකිස්තාන පාර්ලිමේන්තුව අමතමින් අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ "සාමය සඳහා වූ පියවරක්"ලෙස ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට තීරණය කළ බවය.
ඉන්දියාව සහ පාකිස්තානය "සාමකාමී ලෙස ජීවත්විය යුතු" බව කී ඉම්රාන් ඛාන් දෙරටේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගත යුතු බව අවධාරණය කළේය.
සිය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව මීට ඉහතදී ඉල්ලීමක් කර තිබිණි.








