ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශය: තර්ජන හඳුනාගැනීමට 'විද්‍යා ප්‍රබන්ධ' රචකයන් කණ්ඩායමක්
සිය රටෙහි ආරක්ෂාවට අනාගතයේ දී එල්ල විය හැකි තර්ජන ගැන සිතා බැලීමට විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගෙන් සමන්විත "රතු කණ්ඩායම" ලෙස හඳුන්වන පිරිසක් බඳවා ගැනීමට ප්‍රංශ හමුදාව සූදානම් වේ.
අදාළ කාර්යය සඳහා බඳවා ගන්නා පුද්ගලයන් හමුදාව බලාපොරොත්තු නොවන "අවස්ථාවට අනුකූල බාධක" ගැන සිතා බලනු ඇති බව Defence Innovation Agency (ආරක්ෂක නව නිපැයුම් කාර්යාංශය) නිකුත් කළ වාර්තාවක දැක වේ.
මෙම කණ්ඩායම යෙදෙන අතිශය රහසිගත ක්‍රියාවලිය "දරුණු උපාංගවලට" එරෙහිව ගෙන යන සටනට වැදගත් වන බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
මෙම වාර්තාව එලි දැක්වෙන්නේ ප්‍රංශය ද ආරක්ෂාව සම්බන්ධයෙන් නව නිපැයුම් සිදු කිරීමට උත්සහ කරන කාල වකවානුවකය.
පසුගිය ඉරිදා (ජූලි 14) පැරීසියේ පැවති 'බැස්ටිල් දින' හමුදා සැමරුම්වල දී එක් නිර්මාණකරුවෙකු තමන් තැනූ පියාඹන උපාංගයක නැගී විශාල පිරිසකට ඉහළින් යමින් සංදර්ශනයක් ඉදිරිපත් කළේය.
එම අවස්ථාව ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් පැවසුවේ, "අපේ හමුදාව ගැන ආඩම්බරයි, ඔවුන් නවීන සහ නිර්මාණශීලියි" යනුවෙනි.
කවුද මේ 'රතු කණ්ඩායම'?
හමුදාවක සාම්ප්‍රදායක ක්‍රමෝපායන්ගෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක ආකාරයෙන් සිතීම මෙම විද්‍යා ප්‍රබන්ධ රචකයන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අයත් රාජකාරිය වේ..
ත්‍රස්තවාදී සංවිධාන හෝ විදෙස් රටවල් අධි තාක්ෂණය භාවිත කළ හැකි ආකාරය ගැන නාට්‍යානුසාරයෙන් හෝ වෙනත් ක්‍රම මගින් සිතා බැලීමට ඔවුන් උත්සහ කරනු ඇත.
"හමුදාව වෙනුවෙන් සිදු කරන නව නිර්මාණ තරගයේ දී අවශ්‍ය සියලු තුරුම්පු අපි ළඟ තිබෙනවා," ප්‍රංශ ආරක්ෂක ඇමති ෆ්ලොරන්ස් පාලි පැවසීය.
මේ අතර, Nerod F5 නම් සූක්ෂ්ම තරංග බාධකයක් සහ නියමුවාට ලැබෙන තරංගවලට බාධා කර ඩ්‍රෝන ඉලක්ක කළ හැකි රයිෆල් හැඩයේ අවියක් ද බැස්ටිල් දින' හමුදා සැමරුම්වල දී ප්‍රදර්ශනය කෙරිණි.
මාලි රටෙහි සිටින ප්‍රංශ හමුදාවලට රොබෝවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද සැලසුම් කර ඇති අතර, දැනටමත් පරීක්ෂණ පවත්වමින් සිටී.
විද්‍යා ප්‍රබන්ධ සත්‍ය වූ අවස්ථා කිහිපයක්
සඳ මත පාතැබීම: ඇමරිකාවේ ෆ්ලොරීඩා හි සිට යානයකින් සඳට ගිය පුද්ගලයන් තිදෙනෙකු ගැන 1865 දී එළිදැක්වූ ජූල්ස් වර්න්ස්ගේ 'From the Earth to the Moon (පොළොවේ සිට සඳට) යන කෘතියේ සඳහන් වී තිබිණි. ඉන් වසර 104කට පසුව එය සැබෑ ලෙසම සිදු විය.
වීඩියෝ ජංගම දුරකතන: වර්තමානයේ භාවිත කරන උපාංගවලට වඩා තරමක් විශාල වුවත්, 1927 දී 'මෙට්‍රොපොලිස්' නම් සිනමා පටයේ වීඩියෝ දර්ශන ලබා ගත හැකි ජංගම දුරකතනයක් පෙන්වීය.
පරමාණු බෝම්බය: ප්‍රාථමික මට්ටමේ පරමාණු විද්‍යාව ඇසුරෙන් බෝම්බ පුපුරවා හැරීම ගැන "අවිනිශ්චිත" අදහසක් 1914 දී එලිදැක්වූ එච් ජී වෙල්ස්ගේ 'The World Set Free (ලෝකයට නිදහස)' නම් කෘතියේ සඳහන් වී තිබිණි.