ගල්ෆ් කලාපය: බ්‍රිතාන්‍ය තෙල් නැවක් ඉරානයේ ග්‍රහණයට

PA Media

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ස්ටේනා ඉම්පෙරෝ'

ඉරානය ගල්ෆ් මුහුදු කලාපයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවක් අල්ලා ගැනීමෙන් එරට "නීතිව්රෝධී හා අස්ථාවර කිරීමේ" හැසිරීමකින් යුතු "අනතුරුදායක මාවතක්" තෝරාගෙන ඇති බව එක්සත් රාජධානිය පවසයි.

'ස්ටෙනා ඉම්පෙරෝ' නම් එම යාත්‍රාවේ හිමිකරුවන් පවසන්නේ තමන්ට නෞකාව සමග තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවය.

නැව අල්ලා ගැනුණේ ගල්ෆ් කලාපයේ පිහිටි හොර්මුස් නම් මුලෝපායිකව වැදගත් ප්‍රදේශයේදීය.

මෙම තත්ත්වය ඉක්මණින් විසඳා නොගතහොත් 'දරුණු ප්‍රතිවිපාක' අත්විය හැකි බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට් අනතුරු හැඟවීය.

නමුත් ඉරානය පවසන්නේ එම නැව "ජාත්‍යන්තර සාගර නීති උල්ලංඝනය" කළ බවකි.

බ්‍රිතාන්‍යයට අයත්, ලයිබීරියානු ධජය සහිත මෙස්දාර් නම් නැවට ද ආයුධ සන්නද්ධ ඉරාන භටයින් ඇතුළු වුව ද එම යාත්‍රාව පසුව නිදහස් කෙරිණි.

'ස්ටේනා ඉම්පෙරෝ' නෞකාව ඉරාන විප්ලවී හමුදා බලකායේ පිරිසක් විසින් සිකුරාදා (ජුලි 19) අල්ලා ගන්නා ලදී.

ඉරානයට අයත් මුහුදු කලාපයට ඇතුළුවීමට පෙර එම තෙල් නැව තවත් යාත්‍රා හතරකින් සහ හෙලිකොප්ටර් යානාවකින් වටකර ගත් බව හන්ට් පැවසීය.

"මුහුදු ගමනාගමන නිදහස රැකීම වැදගත්" බව කී ඔහු මේ සම්බන්ධයෙන් මේ තත්ත්වය විසඳා නොගන්නේ නම් "දරුණු ප්‍රතිවිපාක" අත්විය හැකි බවට අනතුරු ඇඟවීය..

"අපි හමුදාමය විකල්ප ගැන බලන්නේ නැහැ," යනුවෙන් පැවසු හන්ට් මෙම ප්‍රශ්නය "රාජ්‍යතාන්ත්‍රික වශයෙන්" විසඳා ගැනීමට උත්සහ දරන බව පෙන්වා දුන්නේය.

ඉරාන රජය සතු ඉර්නා පුවත් සේවය පැවසුවේ, ධීවර යාත්‍රාවක ගැටීමෙන් අනතුරුව එම කුඩා යාත්‍රාව කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදැක් වූ නිසා නැව අල්ලාගත් බවකි..

නමුත් තමන් රෙගුලාසි අනුව කටයුතු කරන බව කී 'ස්ටේනා ඉම්පෙරෝ' නෞකාවේ හිමිකරුවන් තම යාත්‍රාව වටකර ගන්නා විට එය ජාත්‍යන්තර මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබු බවත් පවසයි.

නැව අල්ලා ගන්නා විට එහි කාර්ය මණ්ඩලය 23 දෙනෙක් වූහ. ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

ඉන්දීය, රුසියානු, ලැට්වියානු සහ පිලිපීන ජාතිකයන් වන ඔවුනට හානියක් සිදුවී නැත.

එක්සත් රාජධානියේ ප්‍රකාශකයෙකු බීබීසී සමග පැවසුවේ, "කෙටි කාලයකට එම ප්‍රදේශය මග හරින ලෙස අපි එක්සත් රාජධානියේ නෞකාවලට උපදෙස් දුන්නා," යනුවෙනි.

පසුබිම කුමක් ද?

ඉරානය සමග එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සම්බන්ධතා මෑතක සිට පිරිහීමත් සමගම වර්තමාන තත්ත්වය වර්ධනය වෙමින් තිබේ.

ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට මතභේද වර්ධනය වෙමින් පවතී. ඒ ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කිරීමට තීරණය කිරීමත් සමගය.

2015 දී එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමෙන් ප්‍රථමයෙන් අමෙරිකාව ඉවත්වීමට තීරණ කළ අතර ඉන්පසු තමන් ද එම ගිවිසුමේ සමහර කොටස් වලින් ඉවත් වන බව පසුගිය මැයි මාසයේදී ඉරානය නිවේදනය කළේය.

මෙම සිදුවීමෙන් පසු ඉරානයට එරෙහි සම්බාධක අමෙරිකාව විසින් දැඩි කරනු ලැබ ඇත.

ඉහළ යන උණුසුම

පසුගිය මැයි මාසයේ සිට ගල්ෆ් මුහුදු කලාපයේදී තෙල් නැව්වලට ඉරානය විසින් පහර දෙන බවට අමෙරිකාව චෝදනා කරයි.

නමුත් ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ගල්ෆ් කලාපයේදී ඉරාන ඩ්‍රෝන යානයක් බිමහෙලු බව සිකුරාදා අමෙරිකාව පැවසීය.

එක්සත් රාජධානිය පවසන්නේ අමෙරිකාව මෙන් නොව තමන් 2015 න්‍යෂ්ටික ගිවිසුමට කැප වී සිටින බවය.

එම ගිවිසුම අනුව ඉරානය න්‍යෂ්ටික කටයුතුවල නොදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කෙරෙනු ඇත.

නමුත් ජිබ්‍රාල්ටර් දූපත ආසන්නයේදී ඉරාන තෙල් නෞකාවක් රඳවා ගැනීම සඳහා රාජකීය මරීන් භටයින් උදව් කිරීම හේතුවෙන් වනවිට බ්‍රිතන්‍ය සමග ද ඉරානය උරණ වී සිටී.

එය සිදුවුයේ ජුලි මස මුලදීය.

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ වැටී ඇති මුහුදු ගමන් මාර්ගය

ඉරාන තෙල් නැව තව දින 30ක් රඳවා ගැනීමට සිකුරාදා (ජුලි 19) ජිබ්‍රාල්ටර් දූපත් රාජ්‍යය බලධාරීන්ට අවසර දුණි.

යුරෝපීය සංගමය පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් එම ඉරාන නෞකාව සිරියාවට තෙල් ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වේ.

'ග්‍රේස් වන්' නමැති එම නෞකාව රඳවා ගැනීමට එකට එක කිරීමක් ලෙස බ්‍රිතාන්‍ය නැවක් අල්ලා ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉන් සතියකට පසුව, බ්‍රිතාන්‍ය තෙල් නැවකට බාධා කිරීමට ඉරාන බෝට්ටු කිහිපයක් උත්සහ දැරීය.

නමුත් ඔවුන්ව පලවා හැරීමට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් නෞකාවක් සමත් වූ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

එම චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි.

එතැන් පටන් ගල්ෆ් කලාපයේ ඉරාන මුහුදු සීමාවේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය නැව්වලට ඇති තර්ජනය තරමක "තීරණාත්මක" මට්ටමකට පැමිණ තිබේ.

'ග්‍රේස් වන්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ග්‍රේස් වන්'

අමෙරිකානු ප්‍රතිචාරය

නෞකාව අල්ලා ගැනීම ඉරානය විසින් එක්සත් රාජධානිය ඉලක්ක කොට දියත් කරනු ලබන ප්‍රචණ්ඩත්වය සතියක් තුළදී ඉස්මතු වූ දෙවන අවස්ථාව ලෙස ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා හැඳින්වීය.

මෙම වර්ධනය වෙමින් පවතින තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ තමා ඒ ගැන බ්‍රිතාන්‍ය සමග සාකච්ඡා කරන බවය.

කියවන්න: