ලන්ඩනයේ ගෙවත්තකට අහසින් වැටුණු මිනිසෙක්

ඡායාරූප මූලාශ්‍රය, PUBLIC DOMAIN
එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපලට ළඟාවෙමින් තිබූ ගුවන් යානයකින් පොළොවට ඇද වැටුණේ නයිරෝබි හි ගුවන්තොටුපල සේවකයෙකු බවට සැකකෙරේ.
බීබීසී සමග මේ සම්බන්ධයෙන් තොරතුරු දැන්වූ කෙන්යානු සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ ගුවන් තොටුපොළ සේවකයින් අතරින් කිසිවකු හෝ අතුරුදන්ව ඇත්දැයි සෙවීම සඳහා ඔවුන්ගේ නම් ලයිස්තු පරීක්ෂා කෙරෙන බවය.
කෙන්යා එයාවේස් ගුවන් සේවයට අයත් යානයක් පසුගිය ඉරිදා (ජුනි 30) හීත්‍රෝ ගුවන් තොටට ගොඩබෑම සඳහා එහි ළඟාවෙමින් තිබියදී, එයින් ඉවතට විසිවී ගිය පුද්ගලයෙකු දකුණු ලන්ඩනයේ 'ක්ලැපම්' (Clapham) ප්‍රදේශයේ පිහිටි නිවසක මිදුලට ඇද වැටිණි.
යානයේ රෝද කට්ටල (Landing gear) හකුළුවා තැබෙන කුටි අතරින් එකක එම පිරිමි පුද්ගලයා රැදී සිටින්නට ඇතැයි සැක කෙරේ.
අදාළ නිවසේ පදිංචිකරු එම අවස්ථාවේ සිය ගෙමිදුලෙහි අව්ව තපිමින් සිටි ස්ථානයට මීටරයක් පමණ එපිටින් සිරුර පතිත වූ බව සිද්ධිය දුටු අසල්වාසියෙකු පැවසීය.
'අයිස් ගොඩක්'
යමක් තදින් වදින ආකාරයේ ශබ්දයක් ඇසුණු නිසා සිය නිවසේ උඩු මහලෙන් එබී බැලූ විට, "මිදුලේ සහ බිත්තිවල ලේ විසිරිලා තිබුණා දැක්කා. පුද්ගලයෙක් බිම වැටී සිටියා," නම හෙළි කිරීමට අකමැති පුද්ගලයෙකු පැවසුවේය.
"ඊට පස්සේ මම එළියට ගියා. එතකොට මට අදාළ නිවසේ පුද්ගලයා හමු වුණා. ඔහු බොහොම බය වෙලා හිටියේ," ඔහු පැවසීය.
ගුවන් යානා ගමන් මාර්ග නැරඹිය හැකි ජංගම දුරකතන යෙදවුමක් (ඇප්) ඇසුරින් එම ගුවන් ගමන් නිරීක්ෂණය කරන පුද්ගලයෙකු අදාළ සිරුර පතිත වන ආකාරය දුටුවා යැයි තමන් සමග පැවසූ බව නම සඳහන් කිරීමට අකමැති එම අසල්වැසියා පැවසීය.
ගුවන් ගමන් සටහන් තබා ගන්නා පුද්ගලයා ද පොලිසිය ද සිරුර වැටී තිබුණු ස්ථානයට එක විට පැමිණි තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, SWNS
"තව තත්පර දෙකක් ගත වුණා නම්, ඔහු මිනිසුන් සිය ගණනක් ගැවසෙන නගර මධ්‍යයට පතිත වෙන්න තිබුණා. ඔහු වැටෙන්න විනාඩි පහළොවකට කලින් මගේ දරුවෝ මිදුලේ සෙල්ලම් කරමින් සිටියා," අසල්වැසියා පැවසීය.
"මම හීත්‍රෝ ගුවන්තොටුපලට කතා කළා. එතකොට කිව්වා මේ වගේ සිද්ධියක් සෑම අවුරුදු පහකට පමණ වතාවක් සිදු වෙනවා කියලා."
"ඔහුගේ සිරුර අයිස් ගොඩක් වගේ තිබුණ නිසා එය හඳුනාගත හැකි මට්ටමක තිබුණා" යැයි ඔහු තවදුරටත් පැවසුවේය.
මෙය සැකකටයුතු මරණයක් ලෙස නොසලකන අතර, මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.
ගුවන් යානය පරීක්ෂා කර ඇති අතර එයට කිසිදු හානියක් සිදුව නොමැති බව කෙන්යා ගුවන් සමාගම වාර්තා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මේ තොරතුරුද කියවන්න:
ගුවන් යානයේ රෝද කට්ටල රදවන අදාළ කුටියේ තිබී බෑගයක්, ජලය සහ ආහාර සොයා ගෙන තිබේ.
"මේ යානය පැය 8යි විනාඩි 50ක් තිස්සේ කිලෝමීටර 6,840ක් පියාසර කළා. මේ පුද්ගලයා යානය ඇතුළේ සැඟවිලා ඇවිත් පසුව මරණයට පත් වීම අවාසනාවන්ත සිදුවීමක්. අපේ කනගාටුව ප්‍රකාශ කරනවා" ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

"කෙන්යා ගුවන් සමාගම නයිරෝබි සහ ලන්ඩන්වල අදාළ බලධාරීන් සමග මේ සිද්ධිය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා."
හීත්‍රෝ ගුවන් මාර්ගයේ මෙවැනි ආකාරයේ මරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ.
2015 ජුනි මස ලන්ඩන් 'රිච්මන්ඩ්' ප්‍රදේශයේ ගොඩනැගිල්ලක වහල මතට එක් සිරුරක් වැටී තිබුණු අතර, තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයේ සිටිය දී සොයා ගෙන තිබේ. ඔවුන් දෙදෙනාම දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් (Johannesburg) සිට ලන්ඩන් පැමිණෙන ගුවන් යානයක සැඟවී සිට ඇත.
2012 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට හීත්‍රෝ වෙත පැමිණි ගුවන් යානයක භාණ්ඩ රැගෙන යන කොටසේ තිබී මළසිරුරක් හමු වී තිබිණි.








