ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර හමුවේ සේයා රූ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් අද දින (ජුනි 30) උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී හමු විණි.

ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

මෙම හදිසි හමුව ගැන අදහස් පළ කරමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ එය ඔවුන් දෙදෙනා අතර පවතින "විශිෂ්ට" මිත්‍රත්වයේ සංකේතයක් බවය. ඒ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ "අද ලෝකයට ඉතා සුවිශේෂී දවසක්" යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප්, සෙනසුරාදා (ජුනි 29) ට්විටර් පණිවුඩයක් ඔස්සේ උතුරු කොරියානු ජනාධිපතිවරයාට කළ ආරාධනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙම හමුව සුදානම් කළ බව කියවේ.

උතුරු කොරියානු නායකයා ආරාධනාව පිළිනොගත්තේ නම් "මාධ්‍ය මාව බොහොම නරක විදියට දකින්න තිබුණා" යැයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.

දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද සුළු මොහොතකට ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක් වී තිබේ. මෙම හමුව නිසා කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බව මුන් ජේ-ඉන් පැවසීය.

නායකයන් දෙදෙනා අතර හමුව කෙටි වෙලාවකට සැලසුම් කර තිබුණත්, පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි. තමන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක දී පැවසුවේය. නමුත් නිල වශයෙන් එයට සූදානමක් නොමැත.

නායක හමුව දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවල විකාශය කෙරිණි.

ධවල මන්දිර උපදේශකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජෙයාඩ් කුෂ්නර් ද මෙම සංචාරයට සහභාගී වී සිටියහ. ඉවන්කා ට්‍රම්ප් මෙය හැඳින්වූයේ "විශ්මයජනක" හමුවීමක් ලෙසය.

නායක හමුවට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මුන් ජේ-ඉන් යුද මුක්ත කලාපයේ පිහිටි නැරඹුම් කුටියකට පිවිසියහ.

මීට පෙර එම ස්ථානයට ගිය ඇමෙරිකානු ජනාධිපතිවරු දැඩි ආරක්ෂක ක්‍රමවේද භාවිත කළ ද ජනාධිපති ට්‍රම්ප් තමාට හුරුපුරුදු ඇඳුමින් සැරසී එම හමුවට ගොස් ඇත්තේ යම් පණිවිඩයක් දීමට දැයි මත පළ වී තිබේ.

උතුරු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි හමුදා කඳවුරක් වෙත පියාසර කළේය. එහි රැස්ව සිටි හමුදා සාමාජිකයන් අමතමින් ඔහු පැවසුවේ නායක හමුව "ඓතිහාසික මොහොතක් වගේම ඉතා හොඳ මොහොතක්" වූ බවය.

මේ තොරතුරු ද කියවන්න: