IS සංවිධානයේ 'ශාඛාවක්' ඉන්දියාවේ ආරම්භ කළ බවට නිවේදනයක්

ISLAMIC STATE

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

(BBC Monitoring සැකසූ ලිපියක් ඇසුරිනි)

අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිට වූ බව පසුගිය දා එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණ. ඉන්දීය පාලිත කාශ්මීරයේ හටගත් ගැටුම්වල වගකීම භාර ගනිමින් මැයි මස 10 වන දා මෙම ශාඛාව හඳුන්වා දී තිබිණ.

අරාබි භාෂාවෙන් "විලයා ඔෆ් හින්ද් (Wilayah of Hind)" නොහොත් 'ඉන්දීය පළාත' ලෙස නම් කර ඇති ශාඛාව ගැන IS සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් නොකළ අතර, එහි භූගෝලීය වපසරිය පිළිබඳ ඉඟියක් ද ලබා දී නොමැත. ඒ වෙනුවට එය හඳුන්වා දී තිබෙන්නේ, කාශ්මීරයේ ඇති වූ ගැටුම්වල වගකීම භාර ගනිමින් නිකුත් කළ නිවේදනයකය.

2017දී ඇති වූ ගැටුම්වලින් IS සංවිධානයේ භූමිය අහිමි වීමත් සමග, ඔවුන්ගේ නව ශාඛා සම්බන්ධයෙන් මෙලෙස විශේෂ වැදගත්කමක් ලබා නොදෙමින් නිවේදන නිකුත් කිරීම දැන් අයිඑස් සංවිධානයේ සිරිත බවට පත් වී තිබේ.

පසුගිය අප්‍රේල් මස මධ්‍යම අප්‍රිකාව තුළ නව ශාඛාවක් පිහිටුවීම ගැන IS සංවිධානය නිවේදනය කළේ ද කොංගෝවේ එල්ල කළ ප්‍රහාරයක වගකීම භාරගනිමින් ප්‍රකාශයක් කළ අවස්ථාවේය.

එමෙන් ම, IS නායකයෙකු පෙනී සිටිමින් මෑතකදී එළිදැක්වූ වීඩියෝවක "තුර්කි පළාත" නම් තවත් ශාඛාවක් ගැන ඉඟියක් ලබා දී තිබිණි.

IS සටන්කරුවන් ස්වයංක්‍රීය ගිනි අවි භාවිත කරමින් "කාශ්මීරයේ, ශොපියන් දිස්ත්‍රික්කයේ, අම්ෂිපෝරා ගම්මානයේදී මිථ්‍යාදෘෂ්ටික ඉන්දියානු හමුදා භටයන් කිහිප දෙනෙකු ඝාතනය කළා, තුවාල සිදු කළා," යනුවෙන් Telegram නම් කෙටි පණිවිඩ හුවමාරු ඇප් එක හරහා මැයි මස 10 වෙනි දින නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

ISLAMIC STATE

ඡායාරූප මූලාශ්‍රය, ISLAMIC STATE PROPAGANDA

ඡායාරූප ශීර්ෂ වැකිය, මැයි 10 වන දා Telegram නම් කෙටි පණිවිඩ හුවමාරු ඇප් එක හරහා නිකුත් කළ ප්‍රකාශය

එම දිනයේදී අම්ෂිපෝරා ගම්මානයේ ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම්වලින් එක් සටන්කරුවෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ තොරතුරුද කියවන්න:

ඉන්දීය පාලිත කාශ්මීරය තුළ ආරක්ෂක අංශ සමග ඇති වන ගැටුම්වල වගකීම IS සංවිධානය භාර ගැනීම ආරම්භ වූයේ 2017 නොවැම්බර් මස සිටය. නමුත්, සංවිධානයේ ශාඛාවක් පිළිබඳව එකල සඳහන් කර නොතිබිණි.

නමුත් 2018 මාර්තු මස IS සංවිධානය කාශ්මීරය තුළ සිදු කළ ප්‍රහාර සහ සුළු ගැටුම්වල වගකීම ඔවුන්ගේ කොරාසන් ප්‍රාන්ත ශාඛාවට බැර කරන ලදී. "ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ අසල පිහිටි භූමි" නිරීක්ෂණය කිරීම සඳහා 2015දී මෙය පිහිට වූ බව සඳහන් වේ.

මැදපෙරදිග සිය භූමිය අහිමි වීමත් සමග, නව ශාඛාවක් ගැන හෙළි කිරීමෙන් IS සංවිධානය බලාපොරොත්තු වන්නේ, ලෝක සම්බන්ධතා තර කර ගැනීම හෝ එවැනි දෙයක් ඇති බව පෙන්වීමට විය හැකිය.

අප්‍රේල් 29 වන දා IS නායක අබු බකර් අල් බග්ඩාඩි නිකුත් කළ වීඩියෝවෙන් ද මෙම උපාය ගැන යම් කරුණු ඉස්මතු කර තිබිණි. එහිදී ඔහු පැවසුවේ බටහිර අප්‍රිකාවෙන් සහ "කොරාසන්" ප්‍රාන්ත ශාඛාවලට සම්බන්ධ වූ නව සටන්කාමීන් පිළිගන්නා බවය.

ඉන්දියාවේ ස්ථාපනය කරන ලදැයි පවසන "ශාඛාව" මෙන් ම, අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරවල වගකීම භාර ගැනීමෙන් IS සංවිධානය බලාපොරොත්තු වන්නේ දකුණු ආසියාවට තර්ජනයක් වීමට විය හැකිය.

තවත් තොරතුරු: