බෝයිං අර්බුදය මැද චීනයෙන් එයාර්බස් සමාගමට ගුවන් යානා 300ක ඇණවුමක්

ඡායාරූප මූලාශ්‍රය, Airbus
එයාර්බස් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 34ක් පමණ විටිනාකමින් යුත් ගුවන් යානා 300ක් මිල දී ගැනීමට චීනය ගිවිසුමකට එළඹ තිබේ.
චීනය A320 සහ A350 XWB ගුවන් යානා මිල දී ගැනීමේ එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ, ජනාධිපති ෂී ජින්පිං යුරෝපයේ සංචාරයක නිරතව සිටින අතරතුරදීය.
මෙම ගිවිසුමට අත්සන් තබන ලද්දේ, එයාර්බස් සමාගමේ ප්‍රතිවාදියා වන බෝයිං සමාගමේ 737 මැක්ස් ගුවන් යානා දෙකක් මාරාන්තික අනතුරට ලක්වීමෙන් පසු එම මාදිලියේ සියලු ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවා ඇති පසුබිමක් තුළය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කියවන්න.
එයාර්බස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චීන ගුවන් සමාගම සඳහා A320 වර්ගයේ ගුවන් යානා 290ක් සහ A350 XWB වර්ගයේ ගුවන් යානා 10ක් වෙනුවෙන් ගිවිසුමකට එළඹි බවය.
එම ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වන බව වාර්තාවල දැක්වේ.
"චීනයේ සිවිල් ගුවන් සේවාවන්හි වර්ධනයට අපට හවුල් වෙන්න ලැබීම ගෞරවයක් ලෙස සලකනවා," එයාර්බස් සමාගමේ වාණිජ ගුවන් යානා සභාපති ගිලෝමේ ෆෝරි නිවේදනයක් මගින් පැවසීය.
ඔහු අප්‍රේල් මාසයේ සිට එයාර්බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත.
"චීනය සමග අපේ සබඳතා පුළුල් වීම නිසා එරට වෙළෙඳපොළ සම්බන්ධයෙන් අපට දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා."
මෙම ගිවිසුම ඇමෙරිකාවේ බෝයිං සමාගමට එල්ල කළ අතුල් පහරක් ලෙස ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉතියෝපියාවට "තවමත් බෝයිං විශ්වාසයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය දා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුව ද, එම සමාගමේ ප්‍රධානියා පවසන්නේ, තමන් තවමත් "බෝයිං පිළිබඳව විශ්වාසය තබන" බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතියෝපියානු ගුවන් සමාගමේ ප්‍රධානී ටෙවෝල්ඩේ ගෙබ්‍රෙමාරියාම් පැවසුවේ, "ඉතියෝපියානු ගුවන් සමාගම සහ බෝයිං සමාගම අතර සබඳතා අනාගතයේදී ද පවත්වාගෙන යන" බවය.
සිය ගුවන් සමාගමේ ගුවන් යානාවලින් තුනෙන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් බෝයිං සමාගමේ ගුවන් යානා වන බවය.
එයාර්බස් සමාගම සහ "අහසේ හෝටලය"
එයාර්බස් සමාගම ද පසුගිය දා අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ, "අහසේ හෝටලය" යනුවෙන් හැඳින්වූ ලොව විශාලතම මගී ගුවන් යානය වන A380 ගුවන් යානය නිෂ්පාදනය කර වසර 12කට පසු අසාර්ථක වීමත් සමගය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුල් කාලයේ එම ගුවන් යානා සඳහා එමිරේට්ස් ඇතුළු ගුවන් සමාගම්වලින් ඇණවුම් රැසක් ලැබුණ ද, පසුව ඒ සඳහා පැවති ඉල්ලුම අඩු වූ අතර එය ලාභ නොලබන ව්‍යාපෘතියක් බවට පත් විය.
එම ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබුණේ, ගුවන් යානා 700ක් අලෙවි කිරීමය.
මහල් දෙකකින් සමන්විත එම ගුවන් යානා මගීන් අතර ජනප්‍රිය වුව ද, ගුවන් සමාගම්වලට පෙනීගොස් ඇත්තේ, එය අසාර්ථක බවය.
ඇතැමෙකු පවසන්නේ, A380 ගුවන් යානය අතිවිශාල හෙයින් ආසන රැසක් හිස්ව ගුවන් ගමන් යාම නිසා ඉන් ලාභ ඉපයිය නොහැකි බවය. බ්‍රිටිෂ් එයාවේස් සමාගමේ මව් සමාගම වන අයිඒජී සමාගමේ ප්‍රධානී විලී වෝල්ෂ් පැවසුවේ, එම ගුවන් යානය හොඳ වුවත් මිල අධික බවය.
ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානාවලින් පරිසරයට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන ඇතැම් ගුවන් සමාගම් බෝයිං සහ එයාර්බස් සමාගම්වල කුඩා එහෙත් වඩාත් කාර්යක්ෂම ගුවන් යානා කෙරෙහි යොමු වී තිබේ.
තවත් කියවන්න.








