බෝයිං 737 මැක්ස් ඉන්දියාවත් තහනම් කරයි; ශ්‍රී ලංකාවේ මගීන්ට අවදානමක් තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, ANADOLU AGENCY
ඉන්දියාව ඔවුන්ගේ ගුවන් කලාපය හරහා "බෝයිං 737 මැක්ස් ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් කලාපය හරහා එවැනි යානා පියාසර කිරීම සිදු නොවන බව" ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
එම අධිකාරිය නිවේදනය කළේ, අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට ලෝකයේ රටවල් කිහිපයක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ බවය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව බෝයිං වර්ගයේ ගුවන් යානා නොමැති නමුත් බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිත කරන සමාගම් 6ක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වල නිරතව සිටියේය. මේ වන විට එම සමාගම් අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ ඉන් පිටව යන මගීන්ට මේ අවස්ථාවේ අවදානමක් නොමැති බව එම අධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, ඉතියෝපියානු ගුවන් යානය අනතුරට ලක් වීම සහ ඊට පසුව ඇති වූ තත්ත්වය කෙරෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය තවදුරටත් අවධානයෙන් පසු වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ලෝක ගුවන් සේවාවල නවතම තත්ත්වය
ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් අතරට යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්ව තිබේ.
ඒ අනුව, ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සහ ඉන්දියාව ඔවුන්ගේ ගුවන් කලාප හරහා බෝයිං 737 මැක්ස් ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබේ.
එම රටවල්, එක්සත් රාජධානිය ඇතුළු අදාළ ගුවන් යානා තහනම් කරන ලද රටවල දීර්ඝ ලැයිස්තුවට එක්වූ නවතම සාමාජිකයන්ය.

ඡායාරූප මූලාශ්‍රය, Norwegian
මෙම තත්ත්වය නිර්මාණය වූයේ, පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසුවය.
මාස 5කට අඩු කාලයක් තුළ එම මාදිලියේ ගුවන් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාව එය විය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ, එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය.
මේ අතර, ඇමෙරිකාවේ ගුවන් සේවක සංගමය එරට ගුවන් සේවා පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත්තේ, "අවදානමක් නොගෙන බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා" ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය
ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ, බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය "වහා ම" අත්හිටුවන බවය.
එම අමාත්‍යාංශය පැවසුවේ, "ආරක්ෂා සහිතව මෙහෙයුම් සිදු කළ හැකි බවට තහවුරු වන පරිදි සුදුසු නවීකරණයන් සහ ආරක්ෂක පියවර යොදන තුරු මෙම ගුවන් යානා භාවිතය අත්හිටුවන" බවය.
මේ අනුව, බෝයිං 737 මැක්ස් යානා 13ක් හිමි ඉන්දියාවේ ස්පයිස්ජෙට් ගුවන් සමාගම අදාළ යානා භාවිතය අත්හිටුවා තිබේ.
යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය පැවසුවේ, "පූර්ව ආරක්ෂක පියවරක් ලෙස" එම ගුවන් යානා භාවිතය අත්හිටුවන බවය.
මේ අතර, අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවන බව එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.
නෝර්වේ රාජ්‍යය ද එම ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති අතර මගීන්ට සිදු වන අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන බවය.
කඩා වැටුණු ඉතියෝපියානු යානය පිළිබඳ විමර්ශන

අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වන විට විමර්ශකයින් විසින් සොයා ගනු ලැබ ඇති අතර ඔවුහු මේ වන විට යානය කඩා වැටීමට හේතුව තහවුරු කර ගැනීම සඳහා දත්ත විශ්ලේෂණය කරමින් සිටිති.
යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය පැවසුවේ, "අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන තවදුරටත් කෙරෙන අතර අනතුරට හේතුව අනුමාන කිරීමට තවමත් නොහැකි" බවය.








