බ්‍රෙක්සිට්: බ්‍රිතාන්‍ය අගමැතිනිය පාර්ලිමේන්තුවේ සහය ලබා ගැනීමේ උත්සාහයක

Theresa May at podium

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ සිය යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය බ්‍රසල්ස් නුවර සිට යළි එක්සත් රාජධානිය වෙත පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ එවැනි උත්සාහයක නිරත වනු ඇත්තේ බ්‍රිතාන්‍ය, සිය සාමාජිකත්වයෙන් ඉවත්වීම (Brexit) මාර්තු 29 වෙනිදායින් ඔබ්බට කල් දැමීම සඳහා යුරෝපා සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුවය.

යුරෝපා සංගමයේ නායකයන් එකඟ වී ඇති පරිදි: බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම මැයි 22 දක්වා ප්‍රමාද කරනු ඇත්තේ තෙරේසා මේගේ ඉහත කී බ්‍රෙක්සිට් යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.

යුරෝපා සංගමයේ නායකයන් එවැනි එකඟතාවකට පැමිණියේ බ්‍රහස්පතින්දා (මාර්තු 22) රාත්‍රියේ පැය අටක් පුරා පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

අදාළ යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවන්නේ නම් යුරෝපා සංගමයෙන් ඉවත්වීම අප්‍රේල් 12 වෙනිදා දක්වා කෙටි වනු ඇත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මීළඟ පියවරට සූදානම් වීමට හෝ ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යට සිදුවනු ඇත.

අගමැතිනිය තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට "පැහැදිලි තෝරා ගැනීමක්" සඳහා ඉඩ ලැබී ඇති බවය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ තෙරේසා මේගේ යෝජනා පාර්ලිමේන්තුව තුළ අවස්ථා දෙකකදී පරාජයට පත් විය.

ඇය නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට එරෙහිව ඡන්දය ලබා දී තිබිණි.

අදාළ යෝජනාව දෙවෙනි වර පරාජයට පත්වීමෙන් අනතුරුව සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කරමින් ඇය කියා සිටියේ තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවය.

අගමැතිනිය විසින් එල්ල කරන ලද චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

බ්‍රිටිෂ් එක්සිට් (British exit) යන්න කෙටි කර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිටිෂ් එක්සිට් (British exit) යන්න කෙටි කර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය

මීට සතියකට පමණ පෙර තෙරේසා මේ සඳහන් කළේ, බ්‍රෙක්සිට් ගිවිසුම පමා කරනවා ද, තවත් ජනමතවිචාරණයකට යනවාද එසේ නැතහොත් "බ්‍රෙක්සිට් ගිවිසුම හැර වෙනත් ගිවිසුමක් අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද" යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් තීරණයක් ගත යුතු බවය.

එක්සත් රාජධානිය මුහුණ දෙමින් සිටින තෝරා ගැනීම් "අපේක්ෂා නොකළ" බව ඇය පැවසීය. කෙසේ වෙතත්, සිය ගිවිසුම ප්‍රතික්ෂේප වීමත් සමග "මේ තෝරා ගැනීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි" තෙරේසා මේ සඳහන් කළාය.

බ්‍රෙක්සිට් යනු කුමක්ද?

බ්‍රිටිෂ් එක්සිට් (British exit) යන්න කෙටි කර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය යොදාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

යුරෝපා සංගමය යනු රටවල් විසි අටකින් සැදුම්ලත් දේශපාලනික සහ ආර්ථික එකමුතුවකි.

ඒ හරහා සාමාජික රටවල් අතර වෙළඳාම් මෙන්ම පුරවැසියන්ට ඒ ඒ රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට සහ රැකියා කිරීමට අවස්ථාව හිමි වේ.

එවක යුරෝපා ආර්ථික ප්‍රජාව (European Economic Community) යනුවෙන් හඳුන්වන ලද යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක් වූයේ 1973 වසරේදීය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ඇයි?

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණය 2016 වසරේ ජුනි 23 වෙනිදා පැවැත්විණි. එහිදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නොඑසේ නම් යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතුද? යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබීය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පවසමින් 52% ක් (මිලියන 17.4) ඡන්දය ප්‍රකාශ කර තිබු අතර යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව පවසමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 48% (මිලියන 16.1) කි.

බ්‍රිතාන්‍ය වාසීන්ගේ මතය ප්‍රකාශයට පත් වූ නමුත් එය ඒ මොහොතේදීම ක්‍රියාත්මක නොවිණි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ 2019 මාර්තු 29 වෙනිදාය.

මේ දක්වා ගමන

2016 ජනමත විචාරණය ආරම්භය පමණි. එතැන් පටන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර සාකච්ඡා පැවැත්විණි.

ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වුනේ "දික්කසාද ගිවිසුම" සම්බන්ධයෙනි.

එක්සත් රාජධානිය ඉවත් වන්නේ කෙසේද?, ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පසුව කුමක් සිදු වේද? යන්න එහිදී සාකච්ඡාවට ගැනිණි.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ සමත්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ සමත් වූවාය

ගිවිසුමේ ඇති කරුණු මොනවාද?

ඉවත්වීමේ ගිවිසුමේ ප්‍රධාන කරුණු කීපයක් පහත දැක්වේ.

  • සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය යුරෝපා සංගමය වෙත කොපමණ මුදලක් ගෙවිය යුතුද? - එය ස්ටර්ලින් පවුම් බිලියන 39 ආසන්න මුදලකි.
  • යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල වෙසෙන එක්සත් රාජධානියේ පුරවැසියන්ට කුමක් සිදුවේද? එසේම එක්සත් රාජධානිය තුළ වෙසෙන යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල පුරවැසියන්ට කුමක් සිදුවේද?
  • යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර භෞතික දේශ සීමාවක් ස්ථාපනය කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?
  • සංක්‍රාන්ති කාලය වශයෙන් හඳුන්වනු ලබන කාල සීමාව තුළ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුම් සැකසීම සඳහාත් ව්‍යාපාරවලට අනාගතය සඳහා හැඩගැසීමට අවශ්‍ය කාලය ලබා දීමටත් එකඟ විය.
  • දීර්ඝ කාලීනව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර සබඳතා දළ වශයෙන් දැක්වෙන තවත් ලියවිල්ලක් සකසනු ලැබිණි. එම දේශපාලන ප්‍රකාශනය තුළ අනාගත සාකච්ඡා සඳහා වන ඉලක්ක ඇතුළත් වේ.

ඉවත්වීමේ ගිවිසුම සහ දේශපාලන ප්‍රකාශනය සඳහා යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් විසි හතේ නායකයන් අත්සන් තබා ඇත. අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ, ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත යුතුය.

බ්‍රෙක්සිට් මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කර පසුගිය දෙසැම්බර් 13 වෙනිදා ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ සමත් විය.

බ්‍රෙක්සිට් ගිවිසුම මගින් 2016 වසරේ පැවති ජනමත විචාරණය පාවා දීමක් සිදු වන බවට චෝදනා කළ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මුල් වූහ.