ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බෝයිං 737 මැක්ස් යානා අත්හිටුවීමෙන් ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වීමේ අවදානමක්
ඔස්ට්‍රේලියානු සහ සිංගප්පූරු ගුවන් සේවා බලධාරීන් විසින් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබ තිබේ.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, 157 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියාවේදී සිදුවූ ගුවන් අනතුරෙන් අනතුරුවය.
මාස 5කටත් අඩු කාලයක් තුළදී එම වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වූ දෙවන අවස්ථාව එය විය.
සිංගප්පූරුවේ චාන්ගි ගුවන් තොටුපොළ ලෝකයේ කාර්යබහුල ම ගුවන් තොටුපොළවල් අතර 6 වන ස්ථානයේ පසුවේ. ආසියාව සහ යුරෝපයත්, ඇමෙරිකාවත් සම්බන්ධ කරන ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථානය වන්නේ එයයි.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ක්‍රියාත්මක ගුවන් සමාගම් අතරින් බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිත කරනුයේ කිහිපයක පමණි.
මේ අතර, ඔස්ට්‍රේලියාවට අයත් කිසිදු ගුවන් සමාගමක බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතයට නොගත්ත ද, සිල්ක් එයාර් සහ ෆීජි එයාර් යන සමාගම් ඔස්ට්‍රේලියාව තුළ ගුවන් සේවා සිදු කිරීමට එම ගුවන් යානා භාවිත කරයි.
ඔස්ට්‍රේලියාවේ සිවිල් ගුවන් සේවා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානී ෂේන් කාර්මඩි පැවසුවේ, අදාළ ගුවන් යානාවල "ආරක්ෂණ අවදානම විමර්ශනය කර තොරතුරු ලබා ගන්නා තෙක්" එම ගුවන් යානා අත්හිටුවීම බලපැවැත්වෙන බවය.
මීට අමතරව, බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට තවත් ගුවන් සමාගම් සහ ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ එෆ් පී පුවත් සේවයට අනුව දකුණු කොරියාව, එරට 737 මැක්ස් ගුවන් යානා හිමි එක ම ගුවන් සමාගම වන ඊස්ටර් ජෙට් සමාගමට දන්වා ඇත්තේ, බදාදා (මාර්තු 13) සිට අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවන ලෙසය.
සිය තීරණය සිල්ක්එයාර්, චයිනා සදර්න් එයාර්ලයින්ස්, ගරූඩා ඉන්දුනීසියා, ෂැංඩොං එයාර්ලයින්ස් සහ තායි ලයන් එයාර් සමාගම් ඇතුළු ගුවන් සමාගම් කිහිපයකට බලපාන බව මේ අතර සිංගප්පූරු ගුවන් සේවා අධිකාරිය පවසයි.
අදාළ ගුවන් යානා අත්හිටුවීමෙන් පසුව මගීන්ට සිදු වන බලපෑම අවම කිරීම සඳහා චාන්ගි ගුවන් තොටුපොළ සහ අදාළ ගුවන් සමාගම් සමග එක්ව ක්‍රියා කරන බව ද සිංගප්පූරු ගුවන් සේවා අධිකාරිය පවසයි. කෙසේ වෙතත්, විශ්ලේෂකයින් බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඉන් ගුවන් මගීන්ට බලපෑම් එල්ල විය හැකි බවය.
ගුවන් සේවා උපදේශක ඉයන් තෝමස් පැවසුවේ, "මේ හරහා ගුවන් ගමන් රැසක් අවලංගු විය හැකි" බවය.
මාරාන්තික ගුවන් අනතුරු දෙකක් සිදුව තිබුණ ද, බෝයිං 737 මැක්ස් ගුවන් යානා මගී ප්‍රවාහන ගුවන් සේවා සඳහා සුදුසු බව ඇමෙරිකානු ගුවන් සේවා පාලනාධිකාරිය එරට ගුවන් සමාගම්වලට සඳුදා (මාර්තු 11) දැනුම් දුන්නේය.