හිට්ලර් ඇඳි බව කියන "ව්‍යාජ සිතුවම්" තුනක් ජර්මානු වෙන්දේසියකදී අත්අඩංගුවට

ජර්මනියේ හිටපු නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් බව දක්වමින් අලෙවි කිරීමට තබා තිබූ දිය සායම් සිතුවම් තුනක් ජර්මන් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබ තිබේ.

පොලිසිය පැවසුවේ, අදාළ සිතුවම් වංචාසහගත ලෙස බර්ලින්හි වෙන්දේසියක අලෙවියට තබා තිබූ බවට සැක කරන බවය.

එම සිතුවම් තුනෙහි දැක්වෙන්නේ, කඳු ප්‍රදේශයක දර්ශනයක්, ගඟක දර්ශනයක් සහ ගසක් යට මිනිසෙකු ඉඳගෙන සිටින ඈත දර්ශනයක්ය.

පසු කලෙක ලෝකයේ දරුණුතම අපරාධ කිහිපයකට වරදකරු වූ ඇඩොල්ෆ් හිට්ලර්, 20 වස සියවසේ මුල් භාගයේදී මියුනික්හි චිත්‍ර ශිල්පියෙකු ලෙස සේවය කරන කාලයේ, මෙම සිතුවම් ඇඳ තිබෙන බව ප්‍රචාරය කර ඇතැයි විශ්වාස කෙරේ.

බීබීසී පුවත් සේවයට වාර්තා වූයේ, පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම සිතුවම් පොලිසිය භාරයට ගෙන ඇති බවය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බර්ලින් පොලිසිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් "වංචා කිරීමට උත්සහ දැරීම" සහ "ව්‍යාජ ලේඛන සැකසීම" යන චෝදනා මත විමර්ශන ආරම්භ කර ඇති බවය.

මෙම සිතුවමක මූලික වටිනාකම ඇමෙරිකානු ඩොලර් 4500 ක් බැගින් සඳහන් කර තිබී ඇතැයි AFP පුවත් ඒජන්සිය පැවසීය. එම සිතුවම් ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් බවට විශේෂඥයෙකු විසින් ද සහතික කරනු ලැබ තිබිණි.

අදාළ සිතුවම් හිට්ලර් විසින් අඳින ලද සැබෑ සිතුවම් ද නැතිනම් "බොරු නිර්මාණයක්ද" යන්න පරීක්ෂා කරමින් පවතින බව ජර්මන් පොලිසිය පැවසුවේය.

මේ ගැනත් කියවන්න:

මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙන්දේසියේ හිමිකරුවන් ද සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ.

ඇඩොල්ෆ් හිට්ලර් නමැති චිත්‍ර ශිල්පියා

පළමු ලෝක සංග්‍රාමයට පෙර වියෙනාහි සාමාන්‍ය කම්කරුවෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස ඇඩොල්ෆ් හිට්ලර් සේවය කළ අතර, ඔහු විසිතුරු තැපැල්පත් සහ සිතුවම් නිර්මාණය කිරීමේ යෙදී සිටියේය.

ඔහු වියෙනාහි සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ඇතුළත් වී චිත්‍ර ශිල්පය හැදෑරීමට දෙවරක් උත්සහ දරා ඇතත්, දෙවර ම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

ඔහු රචනා කළ Mein Kampf (මගේ සටන) නමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ, ඔහු එකල දිනකට සිතුවම් තුනක් පමණ ඇඳි බවය.

ඇඩොල්ෆ් හිට්ලර් විසින් අඳින ලද 'නාසි සංකේතය' නොමැති සිතුවම් අලෙවි කිරීමට ජර්මනිය තුළ තහනමක් නැත.

තවත් පුවත්:

තමන්ගේ සිතුවම් තමන් ම විනාශ කිරීම

බලයේ සිටියදී තමන් විසින් අඳින ලද සියලු සිතුවම් එකතු කර විනාශ කරන ලෙසට හිට්ලර් අණ කළ බව පැවසේ. එහෙත්, ඔහු විසින් අඳින ලද සිතුවම් සියගණනක් තවමත් ඇතැයි විශ්වාස කෙරේ.

ඉන් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකානු යුද්ධ හමුදාව සතුව පවතින අතර, ඒවා දෙවන ලෝක යුද්ධයෙන් පසුව රාජසන්තක කරන ලදී. එම සිතුවම් මෙතෙක් ප්‍රදර්ශනය කර නොමැත.

අනෙක් සිතුවම් ඇතැම් පුද්ගලයින් සහ ආයතන සතුව පවතී. හිට්ලර් අඳින ලද සිතුවම් අතරින් විශාලතම සිතුවමක් ඇමෙරිකාවේ පිහිටි දෙවන ලෝක මහා සංග්‍රාමයට අදාළව ඉදි කළ ජාත්‍යන්තර කෞතුකාගාරයේ තබා තිබේ.

2014 වසරේදී ඔහුගේ දිය සායම් සිතුවමක් ඇමෙරිකානු ඩොලර් 148,000 ක පමණ මුදලකට අලෙවි විය.