හිට්ලර්ගේ තහනම් ආචාරය නිසා සංචාරකයන් දෙදෙනෙක් අමාරුවේ

ජර්මානු පාර්ලිමේන්තුව ඉදිරිපිටදී නාසි හමුදා ආචාරය (salutes) අනුකරණය කළ චීන සංචාරකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වෙයි.

මෙම සංචාරකයන් දෙදෙනාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා චෝදනා ගොනු කර ඇති අතර එක් අයෙකුට ඩොලර් 600 බැගින් වූ මුදල් ඇපයක් මත නිදහස් කර තිබේ.

හිට්ලර්ට සහ නාසි හමුදාවට අදාළ සංකේත භාවිතා කිරීම ජර්මනියේ නීතියෙන් තහනම් වන අතර ඊට එරෙහිව දැඩි දඬුවම් හිමිවනු ඇත.

ජර්මානු පොලිසිය කියා සිටියේ හිට්ලර්ගේ තහනම් ආචාරය අනුකරණය කළ මෙම චීන ජාතිකයන් දෙදෙනාට තුන් වසරක සිර දඬුවමක් හෝ මුදලින් දඩයක් නියම විය හැකි බවය.

ජර්මනියේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල සාමාජිකයන්ට ද බොහෝ විට නඩු පැවරෙන්නේ මෙම චෝදනාව මතය.

මෙම සංචාරකයන් දෙදෙනාගෙන් එක් අයෙකු 36 හැවිරිදි වන අතර අනෙක් පුද්ගලයා 49 හැවිරිදි ය.

කෙසේ නමුත් නඩු විභාගය ආරම්භ වීමට පෙර මෙම චූදිතයන් ජර්මනියෙන් පිටවී යාමට ඉඩකඩ ඇති බව බර්ලින් පොලිසියේ ප්‍රකාශිකාව පැවසුවාය.

එසේ වුවහොත් ඇප මුදලින් දඩ මුදල ආවරණය වනු ඇත.

ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට දී මෙම සංචාරකයන් දෙදෙනා හිට්ලර් ගේ ආචාරය අනුකරණය කරමින් සිට ඇත්තේ තම ජංගම දුරකථනය මගින් එකිනෙකාගේ ඡායාරූප ගැනීම සඳහා ය.