කාන්තාවන් ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක්වන ඔස්ට්‍රේලියාව

AYA MAASARWE / INSTAGRAM

ඡායාරූප මූලාශ්‍රය, AYA MAASARWE / INSTAGRAM

ඡායාරූප ශීර්ෂ වැකිය, අයා මාසාවේ නමැති 21 හැවිරිදි ඊශ්‍රායෙල් ජාතික තරුණිය මෙල්බෝර්න්හිදී ඝාතනයට ලක්විය.

සිය නවාතැන කරා පිය මනිමින් සිටි තරුණියක මෙල්බර්න්හිදී ඝාතනයට ලක් වීමත් සමග පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානුවෝ දැඩි කම්පනයට පත් වූහ.

අයා මාසාවේ නමැති 21 හැවිරිදි ඊශ්‍රායෙල් ජාතික තරුණියගේ මරණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාව තුළ කාන්තාවන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් මෙන් ම විවාදයක් නිර්මාණය විය.

ඇයගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව තෝරාගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාව වෙනත් රටවලට වඩා ආරක්ෂිත බව විශ්වාස කළ හෙයිනි.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අයා වෙනුවෙන් තැබූ සමරුවක්

ඇයගේ ඝාතනය සිදු වූයේ, මෑත කාලයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ඝාතන හතක් සිදුව තිබියදීය.

මේ තොරතුරුද කියවන්න:

සංඛ්‍යා ලේඛනවලින් කියන දේ

ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය අවසන් වරට නිකුත් කර ඇති සංඛ්‍යා දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක්වන අතර සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව හෙළි වී තිබේ.

මෙම සංඛ්‍යා දත්ත සහ ප්‍රතිශතයන් ආදි වාසී සම්භවයක් සහිත කාන්තාවන් සම්බන්ධයෙන් තවත් ඉහළ මට්ටමක පවතී.

සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ, සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආගන්තුක පුද්ගලයින්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන බවය.

ඔස්ට්‍රේලියාව තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය කරුණක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් සෑම සතියක ම එක් කාන්තාවක් වත්මන් හෝ පැරණි සහකරුවා අතින් ඝාතනයට ලක් වෙයි.

FACEBOOK

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හාස්‍යෝත්පාදක රංගන ශිල්පිනියක වූ යුරිඩීස් ඩික්සන් පසුගිය ජූනි මාසයේදී මෙල්බෝන්හිදී ඝාතනය විය.

"ඝාතන සම්බන්ධයෙන් කතා කරනකොට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අතිශය උග්‍ර වී තිබෙනවා. ඒ වගේ ම, තමන්ගේ නිවස තුළදී ම කාන්තාවන් ශාරීරිකව හෝ මානසිකව පීඩා විඳින එක අතිශය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා," සිඩ්නි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රූත් ෆිලිප්ස් පැවසීය.

"ඒක බරපතළ ගැටලුවක්. ඒක අර්බුදයක් විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියානු සංස්කෘතිය තුළ පවතින ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධ බල අර්බුදය මෙයින් දැක්වෙනවා."

පසුගිය සතියේදී ආයා මාසාවේ ඝාතනය වීමත් සමග මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සමාජ ජාලවල දැඩි කතාබහක් ඇති විය.

ගෝලීය වශයෙන් ඔස්ට්‍රේලියාව සිටින්නේ කුමන ස්ථානයක ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ඔස්ට්‍රේලියාව තුළ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය "කරදරකාරී ලෙස සාමාන්‍ය කරුණක්" වී ඇති බවය. එහෙත්, සමාජ විද්‍යා විශේෂඥයින් පවසන්නේ, සංවර්ධිත රටවල් සමග සැසඳීමේදී ඔස්ට්‍රේලියාවේ තත්ත්වය සෙසු රටවලට සාපේක්ෂව ඉහළ අගයක නොමැති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යනු ගෝලීය වශයෙන් කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ ප්‍රධාන සාධකය බවය. දිළිඳු රටවල මෙය වැඩි වශයෙන් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ජී 20 රටවල් අතර කාන්තාවන්ට එරෙහි ගෘහස්ත ප්‍රචණ්ඩත්ව දර්ශක අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ, 8 වන ස්ථානයයි.

තවත් තොරතුරු: