ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාරකා විද්‍යාව: අභ්‍යවකාශයෙන් නිකුත් වූ ගුවන් විදුලි සංඥා ඇති විය හැකි හේතු 5 ක්
අභ්‍යවකාශයේ ඈතින් පිහිටි මන්දාකිණිවලින් නිකුත් වුණු අද්භූත සංඥා පිළිබඳව විවිධ අවස්ථාවලදී වාර්තා වී තිබේ.
FRB (fast radio bursts) හෙවත් අධිවේගී ගුවන් තරංග සංඥා ලෙස හැඳින්වෙන එම සංඥා පෘථිවියේ දුරේක්ෂවල සටහන් වී ඇති ආකාරයට පෙනී යන්නේ, ඒවා ඉතා සුළු වේලාවක් (මිලිතත්පර කිහිපයක්) පමණක් දීප්තිමත්ව තිබී අතුරුදන් වන බවය.
මෙවැනි නවතම ගුවන් තරංග සංඥාවක් පිළිබඳ පුවතක් බීබීසී සිංහල බ්‍රහස්පතින්දා (ජනවාරි 10) පළ කළේය.
ඒ ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කිරීමය.
අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.
ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියක් ලෙස තාරකා විද්‍යාඥයෝ හඳුන්වති.
වෙනත් දුරේක්ෂයකට මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තා වී තිබුණු අතර එය ද එක් වරක් පමණි.
වැඩිදුරටත් කියවන්න:
මෙවැනි සංඥා මෙන් ම දුර්ලභ පුනර්ක්‍රියාකාරී සංඥා ද රැසක් හඳුනාගෙන ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.
එහෙත්, ඒවා මොනවා ද? කොහෙන් පැමිණෙන්නේ ද? යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. කෙසේ නමුත්, එම සංඥා ඇති විය හැකි ආකාර 5 ක් පිළිබඳව තාරකා විද්‍යාඥයින් පැහැදිලි කර තිබේ.
1. වේගවත්ව චලනය වන නියුට්‍රෝන තාරකා
තාරකාවන් පුපුරා ගොස් ඒවා විනාශ වූ පසු වේගවත්ව චලනය වන නියුට්‍රෝන තාරකා බවට පත් විය හැකිය. තාරකා විද්‍යාඥයින් පවසන්නේ, අධි චුම්භකත්ව ප්‍රදේශයක එවැනි නියුට්‍රෝන තාරකාවලින් ආගන්තුක සංඥා නිකුත් විය හැකි බවය.
"ඒත් තවමත් අපි හරියට ම දන්නේ නෑ මේ ගුවන් විදුලි සංඥා මොනවා ද කියලා," කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය ඉන්ග්‍රිඩ් ස්ටෙයාර්ස් (Ingrid Stairs) පැවසීය.
2. තාරකා දෙකක් එක්වීම
යම් නියුට්‍රෝන තාරකා දෙකක් එක්වීමකදී ඇති වන ගැටීමකදී සංඥා නිකුත් විය හැකි බවට තවත් මතයක් පවතී.
කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ශ්‍රීහර්ෂ් ටෙන්ඩුල්කාර් (Shriharsh Tendulkar) පවසන්නේ, අද්භූත සංඥා එළි සම්බන්ධයෙන් මෙය ප්‍රධාන නියමයක් ලෙස සලකන බවය.
එහෙත්, එම සංඥා එළි නිකුත් වන්නේ, එක් වරක් පමණි. එසේ වනුයේ, තාරකා එකිනෙක ගැටීමෙන් පසු එම තාරකා විනාශ වීම හේතුවෙන් විය හැකිය.
"ඒ මගින් පුනර්ක්‍රියාකාරී ගුවන් විදුලි සංඥා නිකුත් වෙන්න බැහැ. එය සිදුවන්නේ, එක් වරක් බැගින්," ඔහු සඳහන් කළේය.
3. බ්ලිසාර් (Blitzar)
බ්ලිසාර් යනු සිය ස්කන්ධය පදනම් කරගෙන විනාශ වීමෙන් පසු කළු පැහැති විවරයක් මතු වන නියුට්‍රෝන තාරකාවකි.
මේවා ද තාරකාව විනාශ වීමත් සමග අතුරුදන් වන හෙයින් පුනර්ක්‍රියාකාරී සංඥා නිකුත් නොකරයි.
4. කළු විවර
ගුවන් විදුලි සංඥා පිළිබඳ නියමයන් රැසක කළු විවර සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. නියුට්‍රෝන තාරකාවක් විනාශ වීමෙන් කළු විවර සෑදීමේ ක්‍රියාවලිය හරහා සංඥා එළි නිකුත් විය හැකි බව කියවේ.
තවදුරටත් කියවන්න:
5. පිටසක්වළ ජීවීන්
ඇතැම් විද්‍යාඥයින් ගුවන් විදුලි සංඥා ස්වාභාවික තත්ත්වයන් යටතේ ප්‍රභවය වන බව විශ්වාස කළ ද, ඇතැමෙක් පෘථිවියෙන් එපිට ක්‍රියාවලියක් ලෙස සලකති.
එහෙත්, ආචාර්ය ඉන්ග්‍රිඩ් ස්ටෙයාර්ස්ගේ මතය වී ඇත්තේ, එය කිසිසේත් විය නොහැකි බවය.
"ඒ ගුවන් විදුලි සංඥා සියල්ල නිකුත් වෙන්නේ විවිධ මන්දාකිණිවලින්," ඇය බීබීසී පුවත් සේවයට පැවසීය.