සෞදි මුස්ලිම් කාන්තාව: 'ඇය' වෙනුවෙන් තීරණ ගන්නේ 'ඔහු'

මුස්ලිම් කාන්තාව

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරගත වී සිටින කාන්තාවකට නිදහස ලැබීමෙන් අනතුරුව සිර ගෙදරින් පිටව යාමට හැකියාවක් ලැබෙන්නේ තම භාරකරු අනුමත කළහොත් පමණි

සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර ලබා දීම ජාත්‍යන්තරයේ ප්‍රශංසාවට ලක්විය. කාලාන්තරයක් තිස්සේ තිබුණු එම තහංචිය ඉවත් කෙරුණේ පසුගිය වසරේදී ය.

නමුත් සෞදි කාන්තාවට තවමත් දිවි ගෙවන්නට සිදු වී ඇත්තේ පුරුෂ පක්ෂය විසින් පනවන ලද තහංචි මධ්‍යයේ ය.

"පුරුෂ භාරකාරත්ව රීතිය" ඉන් කැපී පෙනෙන තහංචියකි. එම රීතියට අනුව 'ඇය' වෙනුවෙන් තීරණ ගන්නේ 'ඔහු' ය.

එනම්, සෞදි කාන්තාවගේ ජීවිතයේ භාරධූර තීරණ ගැනීමේ අධිකාරිත්වය හිමි වන්නේ ඇයගේ පියා, සහෝදරයා, සැමියා හෝ පුත්‍රයාට ය.

තම පවුලේ සාමාජිකයන්ගෙන් පලා ගිය සෞදි තරුණියක් තායිලන්තයේ ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ආපසු යාම ප්‍රතික්‍ෂේප කිරීමේ පුවතක් පසුගිය දිනවල වාර්තා විය.

දහඅට හැවිරිදි එම තරුණිය කියා සිටියේ නැවත සිය පවුලේ සාමාජිකයන් වෙත ගියහොත් තමන් සිරගත වීමේ අවදානමකට මුහුණ දෙන බවය.

සෞදි කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "සෑම සෞදි කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ම උපතේ සිට මරණය දක්වා මේකට මුහුණ දෙනවා"

විවාහය, විදෙස් ගමන්, සිර දඬුවම්

මෙම පුවත වාර්තාවීමත් සමඟ සෞදියේ පවතින "පුරුෂ භාරකාරත්ව රීතිය" පිළිබඳව ලෝකයාගේ අවධානය නැවත යොමු විය.

එම රීතියට අනුව, සෞදි කතකට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ වෙනත් රටක සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඇයගේ භාරකාරත්වය දරන පුරුෂයාගේ අනුමැතිය ලැබුණහොත් පමණි.

තම තනි කැමැත්තට විවාහ ගිවිස ගැනීමට ද ඇයට වරම් නැත. ඊට ද භාරකරුගේ අවසරය ලබා ගත යුතුය.

භාරකරු ගේ අවසරයක් නොමැතිව සෞදි කතට රජයේ ශිෂ්‍යත්වයක් මත වෙනත් රටක අධ්‍යාපනය ලැබීමට ද නොහැකිය.

එපමණක් නොව, සිරගත වී සිටින කාන්තාවකට නිදහස ලැබීමෙන් අනතුරුව සිර ගෙදරින් පිටව යාමට හැකියාවක් ලැබෙන්නේ තම භාරකරු අනුමත කළහොත් පමණි.

සමාර් බදාවි - මිෂෙල් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාර් බදාවි - මිෂෙල් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් සමඟ

අතවරයට ලක් වූ කාන්තාවන් රඳවා තිබෙන ආරක්ෂණ මධ්‍යස්ථානයකින් පිටව යාමට පවා ඇයට වරම් ලැබෙන්නේ සිය භාරකාරත්වය හිමි පුරුෂයාගේ තීරණය මතය.

"සෑම සෞදි කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් ම උපතේ සිට මරණය දක්වා මේකට මුහුණ දෙනවා. කාන්තා පාර්ශවය අනිවාර්යයෙන් ම සැලකෙන්නේ බාල වයස්කාරියන් හැටියට." යැයි මොනා ටහාවි බීබීසීයට පැවසුවාය. ඇය ඊජිප්තු සම්භවයක් සහිත ඇමරිකානු මාධ්‍යවේදිනිය කි.

පාසල් ශිෂ්‍යාවන්ට පැවති ක්‍රීඩා කිරීමේ තහනම

කාන්තාවන් වෙනස් කොට සැලැකීම සපුරා බැහැරලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සනාථ කරමින් සෞදි අරාබිය කියා සිටින්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කරන බව ය.

ඒ අනුව, සෞදි කාන්තාවට සහ පාසල් ශිෂ්‍යාවන්ට පැවති ක්‍රීඩා කිරීමේ තහනම පසුගිය වකවානුවේ ඉවත් කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.

එමෙන්ම පාපන්දු තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ද කාන්තාවන්ට අවසර ලැබිණ.

Crown Prince Mohammed Bin Salman and his father King Salman have introduced some reforms

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සල්මාන් රජු ඔටුන්න හිමි කුමරු බින් සල්මාන් සමඟ

කෙසේ නමුත් කාන්තාවන් වෙනස් කොට සැලැකීම නීතියෙන් තහනම් කිරීම සඳහා අණපනත් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය අපොහොසත්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන විශේෂඥයන් ගේ බරපතළ සැලකිල්ලට භාජනය විය.

ඔවුන්ගේ අවධානය යොමු වූ තවත් කාරණයක් වන්නේ කාන්තාව වෙනස් කොට සැලැකීම විවරණය කෙරෙන නීතිමය අර්ථ දැක්වීමක් සෞදි අරාබිය තුළ නොමැතිවීම ය.

"සමාජයට සහ ආර්ථිකයට කාන්තා දායකත්වය ලබා ගැනීම සඳහා පවතින ප්‍රධාන බාධකය" ඉහත කී පුරුෂ භාරකාරත්ව රීතිය බවට විශේෂඥයෝ හඳුනාගෙන ඇත.

අභියෝග කළ කාන්තාවන් අත්අඩංගුවට

"ඇතැම් ක්‍ෂේත්‍ර සඳහා පුරුෂ භාරකාරත්වයක අවශ්‍යතාව සෞදි අරාබිය විසින් සෘජුව ම සහ පැහැදිලිවම" බලාත්මක කරනු ලැබ ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2016 දී වාර්තා කළේය.

ඊට එරෙහිව අභියෝග කර ඇති කාන්තාවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවටත් නඩු පැවරීමටත් ලක් වී ඇති බව ද ඔවුහූ පැවසුහ.

ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන සමාර් බදාවි තම නිවසින් පලා ගියේ සිය පියා විසින් ඇය අපයෝජනය කරනු ලබන බවට චෝදනා කරමිනි.

මාරියම් අල්-ඔටයිබි

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@MERIAM_AL3TEEBE

ඡායාරූප ශීර්ෂ වැකිය, මාරියම් අල්-ඔටයිබි - අකීකරුවීමේ වරදට දින 100ක සිර දඬුවමක්

කාන්තා ආරක්ෂණ මධ්‍යස්ථානයක රැකවරණ ලැබූ ඇය අනතුරුව සිය 'පුරුෂ භාරකාරත්වය' පියාගෙන් ඉවත්කර ගැනීම සඳහා නීතියේ පිහිට පැතුවාය.

ඊට පලිගැනීමක් වශයෙන්, "අකීකරුවීමේ වරද" යටතේ සිය පියා විසින් ඇයට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කරනු ලැබ ඇත.

විනිසුරුවරයාගේ නියෝගය මත 2010 වසරේ දී ඇය සිර ගත කරන ලදී.

"අකීකරුවීමේ වරද"

සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම මත අවසානයේදී සෞදි බලධාරීන් ඇයට එරෙහිව තිබූ චෝදනා ඉවත් කර ගත් නමුත් ඒ වන විට ඇය මාස හතක කාලයක් බන්ධනාගාරගත ව සිටියාය.

මාරියම් අල්-ඔටයිබි, සෞදියේ තවත් ක්‍රියාකාරිනිය කි. ඇය මාස තුනක් තිස්සේ රැඳවුම් භාරයේ සිට ඇත්තේ "අකීකරුවීමේ වරදට" සිය පියා විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුවය.

ඇය නිවෙසින් පලා ගියේ "පුරුෂ භාරකාරත්ව රීතියට" එරෙහිව සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිය පියා සහ සහෝදරයා තමන්ට හිරිහැර කරන්නට පටන්ගත් බව ඇය චෝදනා කරමිනි.

රටින් පලා ගිය කතුන් පවා රැඳවුම් භාරයට පත් විය.

සෞදි කතුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉස්ලාම් ආගමට කළ අපරාධයක් සහ සෞදි සමාජයට එල්ල කළ තර්ජනයක්"

2017 දී දීනා අලි ලාස්ලුම් තම නිවෙසින් පලා ගියාය. ඇය රටින් පිට වූයේ ඔස්ට්‍රේලියාව බලා යෑමේ අටියෙනි. නමුත් ඇය පිලිපීනයේ දී අත්අඩංගුවට පත් වූවාය.

ඇය ප්‍රකාශ කළේ තමන් අකමැති අයෙකුට බලෙන් විවාහකර දීමට උත්සාහ කළ බැවින් නිවෙසින් පලා ගිය බවය. එරට බලධාරීහු බලහත්කාරයෙන් ඇයව පෙරළා පවුලේ සාමාජිකයන් වෙත භාර දුන්හ.

අනතුරුව ඇය රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට ඇති බවට වාර්තා ලැබුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

"ඉස්ලාම් ආගමට කළ අපරාධයක්"

නමුත් ඇය නිදහස් වී නැවතත් පවුලේ සාමාජිකයන් වෙත ගොස් ඇතිදැයි තවමත් පැහැදිලි නැත.

පුරුෂ භාරකාරත්ව රීතිය වහා අහෝසි කරන ලෙස සමාජ ක්‍රියාධරයෝ කලක සිට බලකරමින් සිටිති.

සෞදි කාන්තාවන්ට රිය පැදවීමට ද 2017 දී ඔහු අවසර දුන්නේය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි කාන්තාවන්ට රිය පැදවීමට 2017 දී ඔහු අවසර දුන්නේය

"ද්‍රෝහීන්"

අත්සන් 14,000කින් යුත් පෙත්සමක් 2016 දී එරට රාජකීය අධිකරණයට භාර දී ඇති නමුත් සෞදි අරාබියේ ආගමික අධිකරණ පද්ධතියේ ප්‍රධානියා විසින් එය හඳුන්වනු ලැබුවේ "ඉස්ලාම් ආගමට කළ අපරාධයක් සහ සෞදි සමාජයට එල්ල කළ තර්ජනයක්" ලෙසට ය.

කෙසේ නමුත් ඉන් මාස පහකට පසු, පුරුෂ භාරකාරත්වයේ අනුමැතියකින් තොරව කාන්තාවන්ට රජයේ සේවයට ඇතුළුවීමට අවසර දෙමින් සල්මාන් රජු විසින් ආඥාවක් නිකුත් කරන ලදී.

එමෙන්ම සෞදි කාන්තාවන්ට රිය පැදවීමට ද 2017 දී ඔහු අවසර දුන්නේය.

නමුත් කාන්තාවන්ට සම අයිතිය ඉල්ලා සටන් කරන ක්‍රියාධරිනියන් මෙන්ම ඔවුනට සහයෝගය ලබා දෙන ක්‍රියාධරයන් රැඳවුම් භාරයට ගැනීමෙන් සෞදි බලධාරීන් විසින් මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.

අත්අඩංගුවට පත්වූවන්ට බරපතළ අපරාධ චොදනා එල්ල වී තිබේ. ඒ අතර "විදේශ පාර්ශව සමඟ සැක කටයුතු සබඳතා පැවැත්වීම" වැනි බරපතළ චෝදනා වෙයි.

එවැනි චෝදනාවකට දීර්ඝ කාලීන සිර දඬුවම් හිමි විය හැකි අතර රාජ්‍ය මාධ්‍ය විසින් මෙම ක්‍රියාධරයන් හඳුන්වා ඇත්තේ "ද්‍රෝහීන්" ලෙසිනි.