ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ - තායිලන්තයේ කොටු වී සිටින සෞදි තරුණිය

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජීවිතයට තර්ජන ඇතැයි පවසමින් තම පවුල අතහැර පැන ආ සෞදි තරුණියට තාවකාලිකව සිය රටට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇති බව තායිලන්තයේ ආගමන විගමන පොලිස් ප්‍රධානියා කියා සිටී.
නැවත සිය රට යාමට ප්‍රතික්ෂේප කරමින් බැංකොක් ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටි දහඅට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් නමැති තරුණිය ඇයගේ පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙකු වෙසෙන කුවේටය වෙත හරවා යැවීමට තායි බලධාරීන් මීට පෙර උත්සාහ ගෙන තිබිණි.
තම කාමරය ඉදිරිපිට තායි නිලධාරීන් රැඳී සිටිය ද, ඇය කුවේට් නගරය බලා යාමට නියමිතව තිබු ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කළාය.
"මගේ සහෝදරයින්, පවුලේ සාමාජිකයින් සහ සෞදි තානාපති කාර්යාල නිලධාරීන් මා එනතුරු කුවේට්හි රැඳී සිටීවි", ඇය රොයිටර් පුවත් සේවය හා පැවසීය.
"ඔවුන් මාව මරාවි. මගේ ජීවිතය අනතුරේ. බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා."
හියුමන් රයිට්ස් වොච් ඇතුලු මානව හිමිකම් කණ්ඩායම් මොහමඩ් අල්-කුනුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි අවධානය පළ කර තිබේ.
හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය හමුවී තමාට රැකවරණය ඉල්ලීමට අවස්ථාව දෙනතුරු, "ඇය තම කාමරයට කොටුවී, ඉන් පිටතට නොයාවි" යනුවෙනි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ රහෆ් කුවේටයට පිටුවහල් කරනු ලැබීම වැලැක්වීම සඳහා තායි නීතිඥයින් පිරිසක් බැංකොක් අපරාධ අධිකරණයට අතුරු තහනමක් ඉදිරිපත් කර ඇති බවය.
"කාලය කෙටියි; එසේම ඇය හදිසි උපද්‍රව තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා". නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ප්‍රකාශ කරයි.
ගැටලුව ඇරඹුණේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, EPA/THAI IMMIGRATION BUREAU
රහෆ් මොහොමඩ් අල්-කුනුන් තම පවුලේ සාමාජිකයින් සමග කුවේට්හි නිවාඩුවක් ගතකරමින් සිටියදී දින දෙකකට පෙර පැන ආවාය. බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට ගොස් රැකවරණය ඉල්ලීම| ඇයගේ බලාපොරොත්තුව විය.
ගුවන්තොටුපලෙන් පිටතට පැමිණෙමින් සිටියදී තම විදේශ ගමන් බලපත්‍රය සෞදි තානාපති නිලධාරියෙක් විසින් සිය භාරයට ගනු ලැබූ බව ඇය පවසයි.
තමාට ඔස්ට්‍රේලියාවට වීසා ඇති බවත් කිසිවිටෙකත් තායිලන්තයේ නැවතීමට බලපොරොත්තුවක් නැති බවත් ඇය කියා සිටියාය.
මේ අතර, බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය පැවසුවේ රහෆ් මොහොමඩ් අල්-කුනුන් ගුවන්තොටුපලෙහි රඳවාගෙන සිටියේ "නැවත යාමට ගුවන් බලපතක් නොතිබූ නිසා" බවය. සිය පවුලේ වැඩි දෙනෙක් වෙසෙන කුවේට් වෙත ඇය නෙරපීමට නියමිත බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බැංකොක්හි සෞදි තානාපති කාර්යාලය තවදුරටත් පැවසුවේ ඇයව ගුවන්තොටුපලෙහි හෝ වෙනත් තැනක රඳවාගැනීමට බලයක් තමන්ට නොමැති බවත් කාර්යාල නිලධාරීන් ඇයගේ පියා සමග අදහස් හුවමාරු කරගන්නා බවත්ය.
හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ෆිල් රොබට්සන් බීබීසී සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, "ඇය විසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට උත්සහ කළ බවත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසමින් තායි ආණ්ඩුව කතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනෙන්න තිබෙනවා....ඇත්ත වශයෙන්ම ඇයට ඔස්ට්‍රේලියාවට යාමට ප්‍රවේශපතක් තිබුණා. මුලික වශයෙන් ඇයට තායිලන්තයට ඇතුළු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ" යනුවෙනි.
ගුවන් යානය ගොඩ බෑ අවස්ථාවේ සෞදි නිලධාරීන්ට ඒ වෙත යාමට හැකි වුයේ නිශ්චිත වශයෙන්ම තායි බලධාරීන් සෞදි අරාබිය සමග සහයෝගයෙන් කටයුතු කර ඇති බැවින් යැයි ඔහුගේ අදහස වී තිබේ.








