ඇමරිකාවේ 'වඩාත් ගෞරවයට පත්' කාන්තාව: හිලරි ක්ලින්ටන්ගේ තැන මිෂෙල් ඔබාමාට

මත විමසීමකට අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව ඇත.

නොනවත්වා වසර දාහතක් පුරා ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව සිටියේ හිලරි ක්ලින්ටන්ය.

වාර්ෂික 'Gallup' මත විමසීමට අනුව ජනාධිපති අපේක්ෂිකාවක, රාජ්‍ය ලේකම්වරියක සහ හිටපු ජනාධිපති ආර්යාවක වන හිලරි ක්ලින්ටන්ට ලැබී ඇත්තේ තෙවන ස්ථානයය.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්‍රි දෙවන ස්ථානයේ පසුවේ.

පනස් වෙනි වරටත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින පළමු දස දෙනා අතරට එක්ව ඇති බව ද මත විමසීම සිදු කළ 'Gallup' ආයතනය පවසයි.

නොනවත්වා එකළොස් වෙනි වරටත් ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ පුරුෂයා බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති බරක් ඔබාමාය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොනවත්වා සිව් වන වරටත් දෙවන ස්ථානයට පත්ව ඇත.

1946 වසරේ සිට (1976 හැර) වාර්ෂිකව ඉහත කී මත විමසීම සිදු කරනු ලැබේ.

වැඩිහිටියන් 1025 දෙනෙකු සමීක්ෂණය සඳහා යොදා ගනු ලබන අතර ලොව ඕනෑම තැනක වෙසෙන තමන් වඩාත් ගෞරවයට ලක් කරන පුරුෂයා හෝ කාන්තාව කවුරුන්දැයි යන්න ඔවුන් විසින් නම් කරනු ලැබිය යුතුය.

2018 වසරේ වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාවන්

  • මිෂෙල් ඔබාමා - 15%
  • ඔප්රා වින්ෆ්‍රි - 5%
  • හිලරි ක්ලින්ටන් - 4%
  • මෙලනියා ට්‍රම්ප් - 4%
  • එලිසබෙත් රැජින - 2%

2018 වසරේ වඩාත් ගෞරවයට ලක් වූ පුරුෂයන්

  • බරක් ඔබාමා - 19%
  • ඩොනල්ඩ් ට්‍රම්ප් - 13%
  • ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් - 2%
  • ෆ්‍රාන්සිස් පාප්වහන්සේ- 2%
  • බිල් ගේට්ස් 1%

පසුගිය වසර 17 ද ඇතුළුව හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ වඩාත් ගෞරවයට පත් වූ කාන්තාව බවට පත්ව ඇති වාර ගණන 22 කි.

ඔප්රා වින්ෆ්‍රි 14 වතාවක් දෙවන ස්ථානයට පත්ව ඇති නමුත් එක් අවස්ථාවක හෝ පළමු ස්ථානයට පැමිණ නොමැත.

හිටපු ජනාධිපති බරක් ඔබාමා මීළඟ වසරේදීත් වඩාත් ගෞරවයට පත් පුරුෂයා බවට පත් වුවහොත් නොනවත්වා වසර 12 ක් එම ස්ථානයට පත්ව සිටි හිටපු ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර්ගේ වාර්තාව සමකර ඇති බව මත විමසීම සිදු කළ'Gallup' ආයතනය පවසයි.

ජනාධිපති ධුරය දරන අතරතුර වඩාත්ම ගෞරවයට ලක් වූ පුද්ගලයා බවට පත් නොවූ ජනාධිපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එම ස්ථානයට පත් නොවූ අනෙක් පුද්ගලයා ගෙරල්ඩ් ෆෝර්ඩ්ය.