ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණය: ඩිමොක්‍රටික් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලයක් - කාන්තාවන් පෙරට
ඇමෙරිකාවේ පැවති මධ්‍ය වාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ. දේශපාලන විශ්ලේෂකයින් එය හඳුන්වන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ අතුල් පහරක් ලෙසය.
වසර 8 කට පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් යටතට පත් වීමත් සමග ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවනු ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හැකි වනු ඇත.
අඟහරුවාදා පැවති මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සැලකිණි.
මොකද්ද මේ මධ්‍ය වාර මැතිවරණය ?
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ නායිකා නැන්සි පේලොසි (Nancy Pelosi) සිය ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශ කළේ, "ඔබලාට ස්තුතියි, හෙට දිනය ඇමෙරිකාවට නව දිනයක් වේවි," යනුවෙනි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනෙට් මණ්ඩලය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් තමන්ට ම ප්‍රශංසා කරගෙන තිබිණි.
මන්ත්‍රී මණ්ඩල තරගයේ පවතින තත්ත්වය කෙබඳු ද?
බීබීසී පුවත් සේවයේ ඇමෙරිකානු සහකරු ලෙස කටයුතු කරන CBS ආයතනයේ පුරෝකථනයන්ට අනුව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලන බලය නතු කර ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි ආසන 23 ජය ගනු ඇත.
තවදුරටත් කියවන්න:
මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ, ආසන 435 ක් වෙනුවෙනි.
ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය, ව්‍යාපාරික කටයුතු, ළබැඳියාවන් අතර ගැටුම් ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඩ්‍රමොක්‍රටික් පක්ෂයට අවස්ථාව හිමි වනු ඇත.
ඊට අමතරව, මෙක්සිකෝව සහ ඇමෙරිකාව අතර තාප්පයක් ඉදි කිරීම වැනි ව්‍යවස්ථාමය සැලසුම් අවහිර කිරීම සඳහා ද ඔවුන්ට ක්‍රියාත්මක විය හැකිය.
කාන්තාවෝ පෙරට
මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන් වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබේ.
ඒ අනුව, 29 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාවන් දෙදෙනෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් (Alexandria Ocasio-Cortez) සහ ඇබී ෆන්කනෝර් (Abby Finkenauer) ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණු ලාබාලතම කාන්තාවන් දෙදෙනා බවට පත් වනු ඇත.
මේ අතර, ඉල්හාන් ඕමාර් (Ilhan OImar) සහ රෂිඩා ට්ලයිබ් (Rashida Tlaib) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන පළමු මුස්ලිම් කාන්තාවන් වනු ඇති අතර ශැරිස් ඩේවිඩ්ස් (Sharice Davids) සහ ඩෙබ්රා හාලන්ඩ් (Debra Haaland) එසේ තේරී පත්වන පළමු ස්වදේශික ඇමෙරිකානු කතුන් වනු ඇත. එම සියලු දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවෝ වෙති.
සෙනෙට් මණ්ඩල තරගයේ තත්ත්වය කෙබඳු ද?
සෙනෙට් මණ්ඩලයේ 51 - 49ක් ලෙස තමන්ට පවතින බලය වැඩි කර ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය ක්‍රියා කරමින් සිටී. ඒ අනුව, විධායක සහ අධිකරණ පත් කිරීම් තහවුරු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට බහුතරය ලැබෙනු ඇත.
රිපබ්ලිකන් පක්ෂය මෙහිදී ලැබූ විශේෂ ජයග්‍රහණය වන්නේ, ඉන්ඩියානා, මිසුරි සහ උතුරු ඩකෝටා නියෝජනය කළ ඩිමොක්‍රටික් නියෝජිතයින් පරාජය කිරීමය.
ආණ්ඩුකාර තරගයේ තත්ත්වය කෙබඳු ද?
මේ වන විට කරන ලද ගණනය කිරීම් අනුව අමෙරිකාවේ ජනපද 50 න් 36 ක් සඳහා ආණ්ඩුකාරවරුන් තේරී පත්වී තිබේ.
කෙසේ වෙතත්, මිචිගන්, ඉලිනොයි සහ කැන්සාස් යන ජනපදවල ආණ්ඩුකාර ධුර ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබේ.