ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාසා ඇසට හසු වූ සෘජුකෝණාස්‍රාකාර හැඩ ඇති අසාමාන්‍ය අයිස් කුට්ටිය
ඇන්ටාක්ටිකාවට ඔබ්බෙන් වෙඩෙල් මුහුදේ (Weddell Sea) පාවෙමින් තිබූ ඍජුකෝණාස්‍රාකාර හැඩ ඇති හිම කුට්ටියක මනරම් ඡායාරූපයක් නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
අදාළ වස්තුව, ගොඩබිම හා සම්බන්ධ පාවෙමින් පවතින ඝන අයිස් තලාවකින් මෑතකදී කැඩී වෙන් වූ කොටසක් බව එහි කෝණාකාර ස්ථාන සහ පැතලි පෘෂ්ඨය මගින් පෙන්නුම්කරනේ යයි ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
එහි දාර තවමත් තියුණු අතර එම කොටස් තවමත් මුහුදු රළට ක්ෂය වී ගොස් නොමැත.
පසුගිය සතියේදී අදාළ ඡායාරූපය කැමරා කාචයට හසු කර ගෙන ඇත්තේ නාසා පර්යේෂණ යානයක පියාසර කළ විද්‍යාඥයන් විසිනි.
'ටැබියුලර් අයිස්බර්ග්'
මෙවැනි වස්තු පිළිබඳ මීට පෙර ද වාර්තා වී ඇති අතර එවැනි අයිස් කුට්ටි 'ටැබියුලර් අයිස්බර්ග්' ලෙස හඳුන්වනු ලැබේ.
ගොඩබිම හා සම්බන්ධ පාවෙමින් පවතින ඝන අයිස් තලාවන්හි අග කොටස්වලින් කැඩී වෙන්වන එවැනි අයිස් කුට්ටි පැතලි සහ දිගැති හැඩයකින් යුක්තය.
නියපොතු වැවී වඩාත් දිගු වූ විට අගින් පැළී යාම වැනි ක්‍රියාවලියක් මගින් ඉහත ආකාරයේ අයිස් කුට්ටි නිර්මාණය වන බව නාසා සහ මේරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ ග්ලැසියර පිළිබඳ විශේෂඥවරියක වශයෙන් කටයුතු කරන කෙලී බ්‍රන්ට් පවසන්නීය.
"එහි ප්‍රතිඵලයක් වශයෙන් එවැනි කොටස් බොහෝවිට ජ්‍යාමිතික හැඩයක් ගන්නවා," ඇය කියා සිටියාය.
"අසාමාන්‍ය ලක්ෂණය"
"මෙහි ඇති අසාමාන්‍ය ලක්ෂණය නම් මෙය චතුරස්‍රයකට බොහෝ සමාන වීමයි."
ඡායාරූපයට හසු වූ අයිස් කුට්ටිය කැඩී ගොස් ඇත්තේ ඇන්ටාක්ටික් අර්ධද්වීපයට අයත් කුඩා කොටස්වලට පැළී යමින් පවතින 'ලාසන් සී' නමැති ගොඩබිම හා සම්බන්ධ පාවෙමින් පවතින ඝන අයිස් තලාවෙනි.
ඡායාරූපයට අනුව එහි විශාලත්වය කොපමණ දැයි නිශ්චිත වශයෙන් කීම දුෂ්කර වුවත් ප්‍රවීණයන්ගේ මතය වී ඇත්තේ එය සැතපුමකට වඩා පළලින් යුක්ත විය යුතු බවය.