ඉන්දියාවේ සබරිමාලා කෝවිල: කාන්තාවන් කෝවිලට ඇතුළු වීමට එරෙහිව කාන්තාවනුත් උද්ඝෝෂණයේ

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටා ඇති අති පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන හින්දු කෝවිලකට ඇතුළු වීම සඳහා පැමිණි සියලු වයස්වලට අයත් කාන්තාවන් එයින් වළක්වමින් බදාදා (ඔක්තෝබර් 17) දහස් ගණනක පිරිසක් විරෝධතාවක නියැලී සිටියහ.

වයස 10 සිට 50 දක්වා "ඔසප් වීම සිදුවන වයස් සීමාව" ඇතුළත සිටින කාන්තාවන්ට සබරිමාලා කෝවිලට ඇතුළු වීම තහනම් කර තිබුණු නමුත් පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම තහනම ඉවත් කිරීමට නියෝග කළේය.

විරෝධතාකරුවන් විසින් වාර්තාකාරිනියන් රැගෙන ගිය වාහනවලට ද පහර දෙනු ලැබූ අතර, අනෙක් කාන්තාවන්ට කෝවිලට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත. මේ හේතුවෙන් බොහෝ කාන්තාවන්ට කෝවිල දොරටුව ඉදිරියෙන් නැවත හැරී යෑමට සිදු විය.

විරෝධතාකරුවෝ පොලිසියට සහ වාහනවලට එල්ල කළ ගල් ප්‍රහාර වැදීමෙන් වැඩිහිටි කාන්තාවක් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ.

හින්දු සංස්කෘතියට අනුව ඔසප් වීම සිදුවන වයස් සීමාවේ සිටින කාන්තාවන් අපිරිසිදු යැයි සැලකෙන අතර, ඔවුන්ට ආගමික කටයුතුවලට සහභාගි විය නොහැකිය.

ඔසප් නොවන දිනවල කාන්තාවන්ට නිදහසේ ආගමික කටයුතුවල නිරත වීමට බොහෝ හින්දු කෝවිල් අවසර ලබා දී තිබේ. කෙසේවෙතත්, මේ ගැන අසාමාන්‍ය ක්‍රියාදාමයක් අනුගමනය කරන සබරිමාලා කෝවිල පුළුල් වයස් කාණ්ඩයකට අයත් කාන්තාවන්ට එයට ඇතුළු වීමට අවසර නොදේ.

කෙසේනමුත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග බදාදා (ඔක්තෝබර් 17) දින සවස 5ට සබරිමාලා කෝවිල කාන්තාවන් සඳහා විවෘත කෙරිණ.

මේ තොරතුරුද කියවන්න:

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගෙන තිබිණි. කාන්තාවන් කෝවිලට ඇතුළු වීමට බාධා කරන විරෝධතාකරුවෝ පාලනය කිරීමට ඔවුහු උත්සහ දැරූහ. මේ අතර, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති වූ බව වාර්තා වේ.

විරෝධතාකරුවන් අතර කාන්තාවන් බොහෝදෙනෙකු ද සිටියහ. ඔවුන් විරෝධතා පාගමනවලට සහභාගි වීමට අමතරව මාර්ග අවහිර කර වාහන නවත්වා වයස 10 සිට 50 දක්වා කාන්තාවන් ඒවා තුළ සිටීදැයි පරීක්ෂා කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

කන්දක් මුදුනේ පිහිටා ඇති වසර 800ක් පමණ පැරණි මෙම කෝවිල වන්දනාමාන කිරීම සඳහා සෑම වසරකම පිරිමි බැතිමතුන් මිලියන ගණනක් පැමිණෙති.

එම වන්දනා ගමනට පෙර දින 41ක් උපවාසයක යෙදී එම කාර්යයට පේවී සිටීමට ඔවුහු වගබලාගනිති.

2016 දී සිසුවියන් පිරිසක් සිදු කළ උද්ඝෝෂණයකින් පසු කාන්තාවන්ට කෝවිලට ඇතුළු වීමේ අයිතිය වෙනුවෙන් හඬ නගන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ විය. කාන්තාවන්ගේ "පිරිසිදු" බව සොයාගත හැකි යන්ත්‍රයක් නිමවූ දිනක ඔවුන්ට කෝවිලට ඇතුළු වීමට අවසර දිය හැකි යැයි සබරිමාලා කෝවිලේ ප්‍රධානියා සිදු කළ ප්‍රකාශයත් සමග මෙම උද්ඝෝෂණ රට පුරා ව්‍යාප්ත විය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ නිකිතා අසාද් බීබීසී වෙත පැවසුවේ, "කාන්තාවන්ට කෝවිලට යෑමට නියමිත වේලාවක් තිබීම පිළිගත නොහැකි අතර, ඔවුන්ට කැමති වේලාවක යන්න නිදහස තිබිය යුතුයි" යනුවෙනි.

සියල්ලෝම එක සමාන යැයි ඉන්දීය ව්‍යවස්ථාවෙන් සහතික කළ ද මෙම චාරිත්‍රය හේතුවෙන් එකී අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ සඳහන් කර තිබුණි. එමෙන්ම, කාන්තාවන්ගේ ආගම ඇදහීමේ අයිතිය ද මෙයින් කඩ වන බව ඔවුහු පවසති.

වසර සිය ගණනක් පැවත එන චාරිත්‍ර වර්තමානයේ දී වෙනස් කළ නොහැකි බව මෙයට සහාය දක්වන්නෝ පවසති.

කෙසේවෙතත්, මෙම චාරිත්‍රය "ව්‍යවස්ථාවට පටහැණි" බව පවසමින් පසුගිය සැප්තැම්බර් 28 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශ කළේය.

එම තීන්දුවත් සමග උද්ඝෝෂණ සහ විරෝධතා රැසක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

අධිකරණය මැදිහත්වීමෙන් ලබා දුන් තීන්දුවලින් පසු කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දුන් තෙවන ඉන්දීය ආගමික ස්ථානය බවට සබරිමාලා කෝවිල පත් වී තිබේ. බටහිර ප්‍රදේශයේ මාහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි 'ශානි ෂිංගපූර්' හින්දු කෝවිල සහ 'හජි අලි' මුස්ලිම් දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දෙමින් තීන්දු ප්‍රකාශ කිරීමට අධිකරණය මින් පෙර කටයුතු කර තිබිණි.

තවත් තොරතුරු: