එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට රොබෝ යන්ත්‍රයක් AI උගන්වයි

BBC

රොබෝ යන්ත්‍රයක් පාර්ලිමේන්තුව ඇමතූ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

පෙපර් නමැති එම රොබෝ යන්ත්‍රය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඇමතූ පළමු රොබෝ ලෙස සටහන් විය. එම රොබෝ යන්ත්‍රය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය දේශනය මගින් පෙන්වා දී ඇත්තේ, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධියෙහි (artificial intelligence) අනාගතය යි.

මෙම රොබෝ යන්ත්‍රය එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය සතු වන අතර එහි ශිෂ්‍යයින් සමග කටයුතු කරමින් දේශනවලට සහභාගි වෙයි.

රොබෝ යන්ත්‍රය රෝද ආධාරයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවට ඇතුළු වනවිට මන්ත්‍රීවරු සිනහ පළ කළ අතර රොබෝ වෙතින් ඇසූ ප්‍රශ්නත් ඊට දුන් පිළිතුරුත් කලින් සූදානම් කර තිබිණි.

"අපේ සමහර හිටපු අමාත්‍යවරුන්ට වඩා මෙයා හොඳයි," පාර්ලිමේන්තු මන්ත්‍රී ලුසී ඇලන් උපහාසාත්මකව පැවසුවේය.

මේ වන විට ලෝකයේ දියුණුවට බලපාන කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි තාක්ෂණික අංග අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් කිරීම කෙරෙහි එක්සත් රාජධානි පාර්ලිමේන්තු අධ්‍යාපන කමිටුවේ අවධානයට ලක්ව තිබේ.

මේ ගැනත් දැනගන්න:

රොබෝ කී දේ

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "රොබෝවරුන්ට කිරීමට වැදගත් කාර්යයක් තියෙනවා. ඒත්, මිනිසුන්ට පමණක් ඇති මෘදු හැකියාවන් අපට නිරන්තරයෙන් අවශ්‍ය වනවා. එතකොට තමයි තාක්ෂණයේ වටිනාකමක් ඇති වෙන්නේ" පෙපර් නමැති රොබෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් පැවසීය.

"රොබෝවරුන්ට කිරීමට වැදගත් කාර්යයක් තියෙනවා. ඒත්, මිනිසුන්ට පමණක් ඇති මෘදු හැකියාවන් අපට නිරන්තරයෙන් අවශ්‍ය වනවා. එතකොට තමයි තාක්ෂණයේ වටිනාකමක් ඇති වෙන්නේ," පෙපර් නමැති රොබෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් පැවසීය.

පෙපර්ගේ වැඩ

මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් පෙපර්ගේ සහය ලබා ගැනිණි. එවැනි ව්‍යාපෘති කිහිපයක් පහත දැක්වේ.

  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ගණිතමය හැකියාවන් දියුණු කිරීම.
  • වැඩිහිටි පුද්ගලයින් රැක බලා ගැනීම.

ඊට අමතරව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයයන්ට අදාළ වැඩමුළු සහ සම්මේලනවලට ද පෙපර් සිය සේවය සපයා ඇත.

එක්සත් රාජධානිය තුළ විශ්වවිද්‍යාල සහ පාසල් අතලොස්සක් පමණක් මෙවැනි පෙපර් රොබෝවරුන්ගේ හිමිකාරීත්වය දරයි. ස්ටර්ලිං පවුම් 10,000 - 12,000 අතර වටිනාකමින් යුත් මෙම රොබෝ යන්ත්‍රයට මුහුණු හඳුනා ගැනීමටත් ඇසට ඇස දීමටත් (make eye contact) හැකියාව ඇත.

කෙසේ වෙතත්, පෙපර් රොබෝ යන්ත්‍රය කෘත්‍රිම බුද්ධිය විෂය පිළිබඳ විශේෂඥයින් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව ඇමතීම පිළිබඳව සෑම දෙනෙකු ම කැමැත්ත පළ කර නොමැත.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය මයිකල් වූල්ඩ්‍රිජ් (Michael Wooldridge) බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙම ක්‍රියාව කෘත්‍රිම බුද්ධියට "නරක නාමයක්" ගෙන ආ "ඇස් බැන්දුමක්" බව ය.

තවත් පුවත්:

අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්

තාක්ෂණික විපර්යාසයන්ට ගැලපෙන පරිදි පවතින අධ්‍යාපනික පද්ධතිය වෙනස් විය යුතු බවට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු අධ්‍යාපන කමිටුවට යෝජනා ලැබී තිබේ.

Siemens Digital Factory සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රයන් හොලිඩේ (Brian Holliday) පවසන්නේ, දැනුම මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයකට වඩා "ව්‍යවහාරික අධ්‍යාපනය" මූලික කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා පාසල් සහ තාක්ෂණික සමාගම් අතර සහයෝගයක් ගොඩ නැගිය යුතු බව ය.

කෘත්‍රිම බුද්ධිය සහ යාන්ත්‍රික අධ්‍යයනය යන විෂයයන්ගේ දියුණුවත් සමග රැකියා රැසක් තුරන් වනු ඇති බවට අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"අපි සේවකයින් වැඩි බිමෙන් ඉවත් කරලා ඔවුන්ව අපගේ ඩිජිටල්කරණය සමග සම්බන්ධ කරන්න වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා," පවතින ශ්‍රම බලය පුනර්කුසලතාකරණයට ලක්කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔහු පැහැදිලි කළේ එලෙසිනි.

මේ අතර, ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ මහාචාර්ය රෝස් ලකින් (Rose Luckin) පවසන්නේ, දත්ත එක්රැස් කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම වැනි සාමාන්‍යයෙන් ළමුන් කිරීමට අකමැති දේ සඳහා පන්ති කාමර තුළ කෘත්‍රිම බුද්ධිය යොදා ගත හැකි බව ය.

ඉදිරියේදී එළඹෙන යාන්ත්‍රික අධ්‍යයන (machine learning) යුගයේදී කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි විෂයයන් සම්බන්ධයෙන් ළමුන්ට බියකින් තොරව ඉගෙනීම සඳහා ගැටලුවලට විසඳුම් සෙවීම සහ ගැඹුරු චින්තනය ඉලක්ක කර ගත් පුළුල් පාඨමාලා හඳුන්වා දීමට අධ්‍යාපනඥයින් පියවර ගත යුතු බව Nesta නමැති නවෝත්පාදක පදනමේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජොයිසි ජෝන් පවසයි.

තවත් කියවන්න.