ඉබෝලා මැඩීමට ශ්‍රී ලාංකිකයකුගෙන් රොබෝවෙක්

හස්ත සංඥා මගින් ක්‍රියා කරන නව රොබෝ යන්ත්‍රය

ඡායාරූප මූලාශ්‍රය, Hiroshan Gunawardane

ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන " The Soft Robotics Toolkit Design Competition 2016" තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙක් සමත් වී සිටියි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන විසිනි.

විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 2014 දී බව හිරෝෂන් ගුණවර්ධන බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

හිරෝෂන් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Hiroshan Gunawardane

ඡායාරූප ශීර්ෂ වැකිය, හිරෝෂන් ගුණවර්ධන (දකුණේ) සිය නිර්මාණය සමඟ

ඉන් අනතුරුව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තරඟය වෙනුවෙන් එය නිර්මාණය කළ බවත් හිරෝෂන් ගුණවර්ධන පැවසීය.

විශේෂයෙන්ම ඉබෝලා රෝගය සම්බන්ධයෙන් 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ 'මාර්ග සිතියම' සිය සොයාගැනීමට මූලිකම හේතුව වූ බවත් ඔහු සංදේශයට පැවසීය.

"ඉබෝලා කියන වෛරස් එක මූලික අවධියේදී අපි අඳුරගෙන තිබුණේ නෑ කොහොමද බෝවෙන්නේ කියලවත්. ඒ වගේ අවස්තාවක දින විස්සක් ඇතුලත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් පමණක් 333 දෙනෙක් මැරිලා තිබුණ," ඔහු පැවසීය.

"මුලින්ම මම ඉදිරිපත් කළේ, රොබෝ අතක්, අතේ චලනය හඳුනාගෙන ඈත තියන රොබෝ කෙනෙක් පාලනය කරන ව්‍යාපෘතියක්."

හිරෝෂන් ගුණවර්ධනගේ නව නිර්මාණය

ඡායාරූප මූලාශ්‍රය, Hiroshan Gunawardane

ඉන් අනතුරුව එම අදහස තවදුරටත් වර්ධනය කර හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තරඟයට ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.

හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද තරගයට නව නිර්මාණකරුවන් සියයකට අධික පිරිසක් ඉදිරිපත් වී සිටි බවත් ඔහු සඳහන් කළේය.

මීට ඉහතදී ස්ලෝවෙනියාවේ 'Academic Economic Congress' සංවිධානය කළ මේ වසරේ නව නිර්මාණ තරඟයේදී සිය නිර්මාණයකට ප්‍රයෝගික අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි වූ බවත් හිරෝෂන් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය. (සංදේශයට සවන්දෙන්න)