ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය

TEAMSHARK

ඡායාරූප මූලාශ්‍රය, Team SHARK/FB

එක්සත් රාජධානියේ පැවති ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට සහභාගි වූ මොරටුව විශ්වවිද්‍යාලයේ 'TeamShark' කණ්ඩායම ගෞරව සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන තිබේ.

හොඳම නව නිර්මාණකරුවා, හොඳම රියදුරා සහ වඩාත්ම කැපවීමක් සහිත කණ්ඩායම ඒ ගෞරව සම්මාන තුනයි.

එක්සත් රාජධානියේ සිල්වර්ස්ටෝන් සර්කිට්හි පැවති ලෝක ශූරතාවලිය සඳහා ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව රටවල් තිහක ශිෂ්‍ය කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටි බවයි 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම බීබීසී සිංහල සේවයට කියා සිටියේ.

ශූරතාව සඳහා ඉදිරිපත් කළ 'D-Mora P1' ෆෝමියුලා රථය නිර්මාණය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ සිසුන් දහ අට දෙනකු දායක වී තිබේ.

ෆෝමියුලා රථයක් නිර්මාණය කිරීමේ ඉලක්කය කරා පැමිණි ගමනේදී තම කණ්ඩායමට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වූ බව රජීව් විසිදාගම පවසයි.

අභියෝග

Team SHARK/FB

ඡායාරූප මූලාශ්‍රය, Team SHARK/FB

Team SHARK/FB

ඡායාරූප මූලාශ්‍රය, Team SHARK/FB

"ප්‍රධානම අභියෝගය තමයි මූල්‍යාධාර. රේස් කාර් එකක් නිර්මාණය කරන්න විශාල මුදලක් වැය වෙනවා. අනෙක් කාරණය තමයි බොහෝ අය විශ්වාස කරන්නේ නැහැ සරසවි ශිෂ්‍යයන්ට රේසින් කාර් එකක් හදන්න පුළුවන් කියලා."

මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ විදේශගත ආදී සිසු කණ්ඩායමක් විසින් රථයේ චැසිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දුන් බවයි ඔහු කියා සිටියේ.

ඉන් අනතුරුව සිය ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කළ ඩිමෝ ආයතනය සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වූ බවත් ඔහු සඳහන් කළේය.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ කථිකාචාර්ය සසිරංග ද සිල්වා 'TeamShark' ෆෝමියුලා ශිෂ්‍ය ව්‍යාපෘතියේ උපදේශක වශයෙන් කටයුතු කළේය.

අතහිත

Team SHARK/FB

ඡායාරූප මූලාශ්‍රය, Team SHARK/FB

Team SHARK/FB

ඡායාරූප මූලාශ්‍රය, Team SHARK/FB

'D-Mora P1'ෆෝමියුලා රථය නිර්මාණය කිරීමේදී 60% දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් බවත් ඔහු කියා සිටියේය.

ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලිය සඳහා පළමු වරට ඉදිරිපත් කළ සිය ෆෝමියුලා රථය සියලුම තත්ව පරීක්ෂණවලින් සමත් වූ බව ඔහු පැවසීය.

"ඒක හරිම විශේෂිත දෙයක්. මොකද තත්ත්ව පරීක්ෂාවලින් අසමත් වූ ඇතැම් ඉහළ කණ්ඩායම් පවා තිබුණා."

විද්‍යා සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අරමුදලක් පිහිටු විය යුතු බවත් 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම යෝජනා කර සිටියේ බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා සමග සක්ච්ච්ඡාවකට එක්වෙමිනි.

"පර්යේෂණවලට, නව නිර්මාණවලට අතහිත දෙන එක ඉතාම අඩුයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒ ඉලක්ක කරා යන්න නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. අපේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලින් ඉන්න ඒක හේතුවක්," ඔහු වැඩිදුරටත් පැවසීය.