පැපුවා නිව් ගිනියාව: ගුවන් තොටුපොළ පසුකර කලපුවකට ගොඩබැස්වූ ගුවන් යානය

JAMES YAINGELUO

ඡායාරූප මූලාශ්‍රය, JAMES YAINGELUO

ගුවන් ධාවන පථය මත නිවැරදි ලෙස ගොඩ බස්වා ගැනීමට නොහැකිවීමෙන් මගී ගුවන් යානයක් මයික්‍රොනීසියාවේ චූක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Chuuk International Airport) ආසන්නයේ පිහිටි කලපුවකට ගොඩ බස්වා ඇති බව ගුවන් තොටුපොළ නිලධාරීන් පවසයි.

පැපුවා නිව් ගිනියාවේ Air Niugini ගුවන් සමාගමට අයත් එම මගී ගුවන් යානය, වෙරළාසන්න නොගැඹුරු දිය මත ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී.

කෙසේ වෙතත්, එම යානයේ සිටි මගීන් තිස්පස්දෙනාට සහ 12 ක් වූ කාර්යමණ්ඩලයට බරපතළ තුවාල සිදුවී නොමැත.

මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත ය.

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

"ගුවන් ධාවන පථයට යාර 160 ක් පමණ දුරින් තිබෙන කලපුවකට ගුවන් යානය වැටී තියෙනවා," චූක් ගුවන් තොටුපොළේ කළමනාකරු ජිමී එමිලියෝ (Jimmy Emilio) බීබීසී සේවයට ප්‍රකාශ කළේය.

"මේ මොහොත වෙනකොට අපි හරියටම දන්නෙ නෑ ඇත්තට ම මොකක් ද වුණේ කියලා. මේ ගැන විමර්ශනයක් හෙට ආරම්භ කරනවා. කොහොම වුණත් (දැනට), ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය විදිහට කෙරෙනවා."

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානය පොන්පෙයි සිට චූක් ගුවන් තොටුපොළ හරහා පැපුවා නිව් ගිනියාවේ අගනුවර වෙත පියාසර කිරීමට නියමිත විය.

ගුවන් යානයේ සිටි සියලු දෙනා රෝහල් කරා රැගෙන ගිය අතර, ඔවුන්ට බරපතළ තුවාල සිදුව නොමැති බවට තමන් විශ්වාස කරන බව ජිමී එමිලියෝ පැවසුවේය.

මෙම ගුවන් යානය මයික්‍රොනීසියාවේ පොන්පෙයි (Pohnpei) සිට පැපුවා නිව් ගිනියාවේ අගනුවර වන පෝර්ට් මෝස්බී (Port Moresby) වෙත පියාසර කරන අතර තුර චූක් ගුවන් තොටුපොළට ද ගොඩ බැස්වීමට නියමිතව තිබී ඇත.