ගුවන් නියමු හිඟයක්: ඉදිරි විසි වසර තුළ ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍යයි

ඔබට රැකියාවක් අවශ්‍යනම්, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වී චීනය බලා යෑමට හැකිය.
ඉදිරි විසි වසර තුළ ආසියා පැසිෆික් ගුවන් නියමුවන්, කාර්මික ශිල්පීන් සහ ගුවන් කාර්ය මණ්ඩලය සඳහා විශාල පිරිසක් අවශ්‍ය වන බව බෝයිං (Boeing) ගුවන් යානා නිෂ්පාදන ආයතනය ප්‍රකාශ කරයි.
ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමග ධනය වැඩි වන අතර, ඉදිරියේදී ගුවන් ගමන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනු ඇත. මේ සඳහා 2037 වසර වන විට 240,000 ක් ගුවන් නියමුවන් සහ 317,000 ක කාර්ය මණ්ඩලයක් කලාපයේ ගුවන් සේවා ආයතන සඳහා අවශ්‍ය වේ.
මෙම පුද්ගලයන්ගෙන් අඩක් පමණ අවශ්‍ය වනු ඇත්තේ චීනයටය.
ගුවන් ගමන් කර්මාන්තය තුළ පවතින ගුවන් නියමුවන්ගේ හිඟය සහ පුහුණුකිරීම් ක්‍රියාවලියේ පවතින දුෂ්කරතා හේතුවෙන් ඇති වී තිබෙන පීඩනය මෙම පුරෝකථනය නිසා තවත් වැඩි වනු ඇත.

වයසින් වැඩි ගුවන් නියමුවන් බොහෝ දෙනෙකු මීළඟ වසර දහය තුළ විශ්‍රාම ගැනීමට නියමිතය. වාණිජ ගුවන් ගමන් සේවා, සංචාරකයින් රැගෙන යන හෙලිකොප්ටර් සහ පෞද්ගලික ජෙට් යානාවලට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතී.
බෝයිං සමාගමේ ඇස්තමේන්තුවට අනුව චීනයට ගුවන් නියමුවන් 128,500ක් ද, අග්නිදිග ආසියාවට 48,500ක් සහ දකුණු ආසියාවට 42,750ක් අවශ්‍ය වේ.

ඡායාරූප මූලාශ්‍රය, Huw Evans picture agency
මෙම ඇස්තමේන්තු සැකසීම සඳහා බෝයිං සමාගමේ නව ගුවන් යානා නිෂ්පාදනය සහ සැපයීම සැලකිල්ලට ගෙන තිබේ. නව ගුවන් යානා ඉල්ලුම් කරන ලෝකයේ ගුවන් සමාගම් අතර ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම් ප්‍රමුඛ ස්ථානයක සිටී.
ඉදිරි වසර කීපය තුළ නිෂ්පාදනය කරන මගී ප්‍රවාහන ගුවන් යානාවලින් 40% ක් ආසියා පැසිෆික් කලාපයට සපයනු ඇතැයි එක්සත් ජනපදයේ අභ්‍යවකාශ සහ ආරක්ෂක දැවැන්තයෙකු වන බෝයිං සමාගම ප්‍රක්ෂේපනය කරයි.
'ආසන පටි තදකරගන්න'
ගුවන් නියමුවෙකු තැනීමේ කඩිනම් ක්‍රියාවලියක් බෝයිං සමාගම තුළ ඇතත්, ගුවන් ක්ෂේත්‍රය තුළ වැඩිවන ඉල්ලුමට එය ප්‍රමාණවත් නොවේ.
"කලාපය තුළ ගුවන් නියමුවන්ට ඇති දැඩි ඉල්ලුම දිගටම පවතිනවා. මෙය තවත් වසර කීපයක් පවතී යැයි අපි බලාපොරොත්තු වෙනවා," බෝයිං ගෝලීය සේවයේ, පුහුණු සහ වෘත්තීය සේවාවන්හි උප සභාපති කීත් කූපර් පැවසීය.
ගුවන් නියමුවන්ගේ හිඟය ගුවන් ගමන් ක්ෂේත්‍රය අවදානමේ හෙළන බව විශ්ලේෂකයෝ පවසති.
නියමුවන් නොමැති ගුවන් යානා ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පමණක් දිස්වේ.
කෙසේවෙතත්, ගුවන් නියමුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීම් නිසා ගුවන් සමාගම්වල ලාභය අවම වනු ඇත.
ලෝක වාණිජ යුද්ධයෙන් ද ගුවන් යානා ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වේ.
චීනය සහ එක්සත් ජනපදය අතර වැඩෙමින් පවතින වාණිජ ගැටුම හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදන වියදම් ඉහළ යා හැකි බව බෝයිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Dennis Muilenburg අනතුරු අඟවා සිටී.
මේ තොරතුරුද කියවන්න:








