කොරියානු අර්ධදිවිපයේ න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා: දකුණු කොරියානු නායකයා උතුරු කොරියාවට

අඩාලවී ඇති න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා මූලික අරමුණු ලෙස සංවාදයක නිරතවීමේ අරමුණ ඇතිව උතුරු සහ දකුණු කොරියානු නායකයෝ උතුරු කොරියාවේ අගනුවර දී හමුවූහ.

උතුරු කොරියාව මෙම වසරේදී දකුණු කොරියාව සහ ඇමරිකාව සමග පෙර නොවූ විරූ අයුරින් සාකච්ඡා මාලාවක් ඇරඹීය.

නමුත්, දෙපාර්ශ්වයම ඉතා සාමාන්‍ය එකඟතාවලට පමණක් එළඹෙමින් වොෂිංටනය සමග සාකච්ඡා එක තැන සිරවී තිබේ.

ඇමෙරිකාව සමග සාකච්ඡාවලදී මැදිහත්කරු ලෙස කටයුතු කරමින් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීම දකුණු කොරියානු ජනපතිවරයාගේ අපේක්‍ෂාව වී ඇත.

ජනපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන්-සූක් උතුරු කොරියාවට අඟහරුවාදා (සැප්. 18) පැමිණියේ තෙදින සංචාරයක් සඳහාය. ගුවන්යානය වෙතම පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ බිරිඳ අමුත්තන් ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.

දහස් ගණන් උතුරු කොරියානුවෝ මල් අතැතිව නැවත එක්වීමේ ප්‍රීතිය වෙනුවෙන් විවිධ වැකි කියමින්, නගරය පුරා විවෘත රියකින් චාරිකා කළ නායකයන්ට ප්‍රීතිය පළ කළහ.

දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවර සංචාරය කළ පළමු අවස්ථාව එය විය.

ජනපති මූන් උතුරු කොරියානු නායකයා හමුවූ තෙවෙනි අවස්ථාව මෙය විය. පසුගිය අප්‍රේල් මාසයේ දෙරට දේශසීමාවේදී ඔවුන්ගේ පළමු ඓතිහාසික හමුව පැවැත්විණි.

සංචාරයේ න්‍යායපත්‍රය කුමක්ද?

දෙරටේ නායකයෝ, කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික තර්ජන අඩු කිරීමේ ප්‍රයෝගික පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරති. එහෙත්, ඒ පිළිබඳ නිශ්චිත කරුණු අනාවරණය වී නොමැත.

දකුණු කොරියාවට මූලික ඉලක්ක දෙකක් ඇත. ඉන් පළමුවැන්න මිත්‍රත්වය නැවත ගොඩනගා ගැනීමය. දෙවැන්න, ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර එකඟත්වයක් ඇතිකරලීමට මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමය.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දෙරට නායකයන්ගේ හමුවිම පවා විශාල පියවරකි. දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකාරිනී ලෝරා බිකර් පවසන ආකාරයට මෙවර, න්‍යෂ්ටික අවි හරණයට අවශ්‍ය ස්ථිර පියවර ගැනීමට උතුරු කොරියාව පෙළඹවීම ජනපති මූන් කළයුතුව ඇත.