මියන්මාරය රෝහින්ග්‍යා අර්බුදය: හමුදා ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ගේ ෆේස්බුක් ගිණුම් තහනම් කළේ ඇයි?

මියන්මාරයේ යුද හමුදා ප්‍රධානියා ද ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ගණනාවකට තවදුරටත් සිය ෆේස්බුක් ගිණුම් භාවිත කිරීමට නොහැකි වී ඇත.

රෝගින්ග්‍යා ජන වර්ගය සහ අනෙක් අය වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සහ ජන සංහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවකින් පරීක්ෂණයක් ඉල්ලාසිටිමත් සමග ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන තිබේ.

මෙය කවර හෝ රටක හමුදා ප්‍රධානියෙක්ගේ ෆේස්බුක් ගිණුමක් වාරණයට ලක් කළ ප්‍රථම අවස්ථාව වේ.

ඒ අනුව, සමස්තයක් ලෙස ගත්විට සමාගම මේවන විට ෆේස්බුක් පිටු 52 ක් සහ ගිණුම් 18 ක් ඉවත්කර ඇත. ඊට අමතරව, ෆේස්බුක් සමාගමට හිමිකම් ඇති ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ද වසා දමා ඇත.

මිලියන 12 ක පමණ අනුගාමිකයන් පිරිසක් එම ගිණුම්වල ඇත.

මියන්මාරයේ පමණක් මිලියන 18 ක පමණ පරිශීලකයන් සිටින ෆේස්බුක් එහි භාවිතවන විශාලතම සමාජ මාධ්‍යවලින් එකකි.

මියන්මාරයේ බොහෝ පරිශීලකයන් "ෆේස්බුක් අන්තර්ජාලය ලෙස සලකන" බවත් එය "වෛරය පැතිරවීමට ප්‍රයෝජනවත් මෙවලමක්" ලෙස භාවිත කරන බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසයි.

රෝහින්ග්‍යා අර්බුදය

රෝහින්ග්‍යා වැසියන්ට සිය ගම් බිම් හැර දමා පළා යාමට සිදු වූයේ එම ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. එම ප්‍රහාර මැඩ පැවැත්වීමට බව පවසමින් 2017 වසරේ අගෝස්තු මස මියන්මාර හමුදාව ප්‍රදේශය තුළ මෙහෙයුම් දියත් කරන ලදි.

එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම්, මිනී මැරීම් සහ ගම්මාන ගිනි තැබීම් සිදු වූ බව වාර්තා විය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජන සමූහයට අයත් වැසියන් ලක්ෂ හතකට ආසන්න ගණනකට බංග්ලාදේශයට පළා ගියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව

රකායින් ප්‍රාන්තයේ ජන සංහාරයට සහ වෙනත් ප්‍රදේශවල මානව සංහතියට එරෙහිව කෙරෙන අපරාධ සම්බන්ධයෙන් මියන්මාර ඉහළ හමුදා නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වාදේ.

වාර්තාව සියගණනක් සම්මුඛ සාකච්ඡා මත පදනම්ව ඉදිරිපත් කර ඇති අතර, රෝහින්ග්‍යා ජන වර්ගයට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් නිකුත් කළ බලවත්ම වාර්තාව මෙය වේ.

අපරාධ නඩු සඳහා මුහුණ දියයුතුයැයි විශ්වාස කෙරෙන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සයදෙනක්ගේ නම් අදාල වාර්තාවෙන් ප්‍රකාශයට පත්කර ඇත.

රෝහින්ග්‍යා පිළිබඳව පුද්ගලයන් අන්තර්ජාලයේ කියන්නේ මොනවාද?

පසුගිය වසරේ රෝහින්ග්‍යා ජන වර්ගයට සහ මුස්ලිම් ජාතිකයන්ට ෆේස්බුක් ඔස්සේ පහර ගැසූ පළකිරීම් දහසකට වඩා හමුවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එහි සටහන් මගින් රෝහින්ග්‍යාවරු සුනඛයින් ලෙසත්, ඉහඳ පණුවන් සහ ස්ත්‍රී දුෂකයන් ලෙසත් හඳුන්වයි. තවත් අය ඔවුන් ඌරන්ට ආහාර සඳහා දැමිය යුතු බව යෝජනා කරයි.

සමහරු මුළුමණින්ම ඉස්ලාම් ධර්මය හෙළාදකී. ඉන් එක් ෆේස්බුක් පිටුවක, "මුස්ලිම්වරු සමූල ඝාතනය කළ යුතු" බව ප්‍රකාශ කරයි.

බීබීසී සේවය මගින් පළ කළ පුවත් සඳහා ද සමාන අන්දමේ විවේචන එල්ලවී තිබේ.

සබැඳි පුවත්: