නාසා ආයතනය පළමු වානිජ අභ්‍යවකාශ චාරිකාවේ නියමුවන් නම් කරයි

පළමු වානිජ අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙන නියමුවන්ගේ තොරතුරු නාසා ආයතනය නිවේදනය තිබේ.

පසුගිය වසර හත පුරා පුද්ගලයන් අභ්‍යවකාශගත කිරීමට නාසා ආයතනයට සිදුවූයේ රුසියාවේ නිෂ්පාදන රොකට් ආධාරයෙන් පමණි.

තෝරාගත් නියමුවන් නවදෙනා බෝයිං සහ ස්පේස්-එක්ස් (SpaceX) සමාගම් විසින් වර්ධනය කරන ලද පද්ධති සහ ඔවුන් සමග එළඹි ඇති කොන්ත්‍රාත්තුවේ සඳහන් කොන්දේසි අනුව ක්‍රියා කරනු ඇත.

ඔවුන් අතරින් බොහෝ දෙනෙකුට අභ්‍යවකාශයේ ක්‍රියා කරන අකාරය පිළිබඳ අත්දැකීම් තිබේ. 2011 වසරේ සම්පූර්ණ කළ අවසන් ෂටල (ඇට්ලාන්ටිස්) චාරිකාවේ නියමුවා සහ අණදෙන නිලධාරියා ද මෙම කණ්ඩායමට එක්වී සිටී.

ඇට්ලාන්ටිස් ෂටලය සිය ඓතිහාසික මෙහෙවර සමාප්ත කරමින් 2011 ජුලි මාසයේදී පෘථිවියට පැමිණියේය.

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ පාලක ජිම් බ්‍රයිඩෙන්ස්ටයින් (Jim Bridenstine) 'හූස්ටන්හි' පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී මෙම ගගණගාමීන් කණ්ඩායම හඳුන්වා දී තිබේ.

"2011 න් පසු පළමු වරට අපි ඇමෙරිකානු ගගණගාමීන්, ඇමෙරිකානු රොකට් මගින්, ඇමෙරිකානු පොළවෙන් අභ්‍යවකාශ ගතකිරීමට ආසන්න මොහොතක සිටින්නේ" යැයි මෙම විශේෂ අවස්ථාව නැරඹීමට පැමිණි පිරිස අමතමින් ඔහු පැවසීය.

ඓතිහාසික අවසන් ෂටල මෙහෙයුමේ අණදෙන නිලධාරියාවූ ක්‍රිස් ෆර්ගියුසන් (Chris Ferguson) දැන් බෝයිං සමාගම යටතේ සේවය කරයි.

මෙම මුල්ම වාණිජ යානය අභ්‍යවකාශයේ දින කීපයකක් හෝ සති කීපයක් ගතකර නැවත පෘථිවියට පැමිණීමට පෙර, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිතය.

ඉන් පසු සිදුවන මෙහෙයුමකදී මෙම ගගණගාමීන් කණ්ඩායම කැප්සියුල මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් එහි වැඩි කාලයක් රැඳෙනු ඇත.

බෝයිං සමාගම වෙනුවෙන් මෙම පළමු දීර්ඝ කාලීන මෙහෙයුමට, මීට පෙර අභ්‍යවකාශ අත්දැකීම් නොමැති ජොශ් කැසඩා (Josh Cassada) සහ ඇමෙරිකානු ඉතිහාසයේ ඉතා ඉහළම අභ්‍යවකාශ අත්දැකීම් ඇති සුනි විලියම්ස් ද (Suni Williams) එක්වේ. සුනි විලියම්ස් ඇයගේ වෘත්තීය ජීවිතය තුළ අභ්‍යවකාශයේ ගත කර ඇති සමස්ථ කාලය දින 321කි.

ස්පේස්-එක්ස් සමාගම වෙනුවෙන්, අභ්‍යවකාශ අත්දැකීම් නොමැති වික්ටර් ග්ලොවර් (Victor Glover) සහ දින 166ක් අභ්‍යවකාශයේ ගතකර අත්දැකීම් ඇති මයික් හොප්කිංස් ද (Mike Hopkins) මෙම චාරිකාව සඳහා තෝරා ගෙන තිබේ.