පරිසර විනාශය අභිබවා යන ඉල්ලුම සහ ඇතුවත් බැරි නැතුවත් බැරි කටු පොල්

කටුපොල් වගාව පරිසරයට ඉතා අහිතකර ලෙස බලපාන බව සාමාන්‍ය පිළිගැනීමය. නිවර්තන කලාපීය වනාන්තර විනාශයට සහ සත්ත්ව විශේෂ කෙරෙහි ඉතා දැඩි බලපෑමක් ඇති කිරීමට කටුපොල් වගාව හේතුවේ.

කෙසේ වුවත් යථාර්ථය ඊට වඩා බොහෝ සංකීර්ණ බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කටුපොල් වගාව මගින් සිදුවන පරිසර විනාශයට පිළියම එය සීමා කිරීම නොවන බව අන්තර් ජාතික පරිසර සංරක්ෂණ එකමුතුව (IUCN) පවසයි. එසේ කිරීමට පෙළඹීම මගින් ඊට වඩා පරිසර විනාශයක් සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

ලෝක වන විනාශයෙන් 0.4% කට කටුපොල් නැතහොත් පොදු ව්‍යවහාරයේ භාවිතවන පාම් ඔයිල් වගාව හේතුවන අතර එය ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සමහර ස්ථානවලදී 50% ද ඉක්මවයි.

එනමුත්, එළවළු තෙල් සඳහාවන ඉල්ලුම හේතුවෙන් කටුපොල් වගාව තහනම් කිරීම විසඳුමක් නොවන බව මෙම වාර්තාව සැකසූ අන්තර් ජාතික පරිසර සංරක්ෂණ එකමුතුවේ මතය වී තිබේ.

එසේම, පරිසර හිතකාමී එළවළු තෙල් සඳහා පාරිභෝගිකයන් අතර ඉල්ලුමක් ඇති කිරීමට දරන ලද උත්සාහයන් ද අසාර්ථක වීම සම්බන්ධයෙන් වාර්තාවෙන් කනස්සල්ල පළකර තිබේ.

ලොව වැඩි වශයෙන්ම භාවිතයට ගන්නා එළවලු තෙල් වර්ගය වූ පාම් තෙල් වෙළඳ පොළේ හමුවන 50% පමණ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන ඇති බව විශ්වාස කෙරේ.

වර්ණය හොඳින් ග්‍රහණය කරගන්නා නිසාත්, රසයක් නොමැති නිසාත්, අධික උෂ්නත්වයක් තුළ දියවී නොයන නිසාත් මෙම තෙල් කාන්තා තොල් සායම් සඳහා ද භාවිත කෙරේ.

එසේම, කටුපොල්වලින් නිපදවන තෙල් යොදා කෙරෙන විශාල පරිමාන නිෂ්පාදන අතර ෂැම්පු සහ සබන් වර්ග මෙන්ම, අයිස් ක්‍රීම් ද තිබේ.

පසුගිය වසර 20 පුරා වැඩිවූ ඉල්ලුම හමුවේ, කටුපොල් වගාව සඳහා නිවර්තන කලාපීය වනාන්තර හෙක්ටයාර දහස් ගණනක් හෙළිකර ඇත.

කටුපොල් වගාව මෙතරම් ව්‍යාප්ත වී ඇත්තේ, තෙල් නිෂ්පාදනයෙහිලා එහි ඇති ශඛ්‍යතාවය මතය.

පාම් තෙල් ලෝක එළවළු තෙල් සැපයුමෙන් 35% ක් සපුරන නමුත් එය සියලු එළවළු තෙල් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයට පමණක් සිමාවේ.

මෙම සැපයුම, සෝයා හෝ සූරියකාන්ත හෝ වෙනත් භෝගයකින් සැපයීමට සළකා බලන්නේ නම් ඒ සඳහා දැනට කටුපොල් සඳහා භාවිත කර ඇති භුමි ප්‍රමාණය මෙන් නවගුණයක් විශාල භූමියක් අවශ්‍යවේ. එමගින් මීට වඩා පාරිසරික හානියක් සිදුවීමට ඉඩ තිබේ.

(පරිසර කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු, මැට් මැක්ග්‍රාත් (Matt McGrath) සකස් කළ ලිපියක් ඇසුරිණි.)

සබැඳි පුවත්: