ජපානය: තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වූවාට 'සමාවෙන්න'

නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වීමෙන් මගීන්ට ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ.

මින් මාස කීපයකට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ.

"අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්," යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් මස දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සකට පෙර පිටත් වූ නිසා අදාළ සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය.

මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

දුම්රිය නොටොගාවා දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ උදෑසන 7.11 ට බව හසුරවන්නා සිතා සිටියත්, එය 7.12 ට පිටත්වීමට නියමිතව තිබිණි.

දුම්රියේ දොරවල් මිනිත්තුවකට පෙර වසා දැමුණු අතර, එසැණින් ඔහුට සිය වැරැද්ද වැටහුණි. ඒ අවස්ථාවේදී වුවද ඔහුට වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඉතිරිව තිබුණි.

එහෙත් දුම්රිය වේදිකාවේ බලා සිටි මගීන් නොදුටු ඔහු තත්පර විසිපහකට පෙර දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත.

දුම්රිය පිටත් වීමට සුළු වේලාවකට පෙර වේදිකාව මතට පැමිණි මගීන්ට එය ඉවතට ඇදෙනු බලා සිටීමට සිදු වූ බැවින් ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ට පැමිණිලි කිරීමට මගීන් කටයුතු කර ඇත. ඉන් සුළු මොහොතකට පසු දුම්රිය සමාගම ඔවුන්ගෙන් සමාව අයැද තිබේ.

ජපාන දුම්රිය සේවා නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

තවත් තොරතුරු: