ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අට හැවිරිදි අසීෆා දැරිය මරා දැමූ දූෂකයන් පංජාබයට
අට හැවිරිදි දැරියක් දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් අට දෙනකුට එරෙහි නඩු විභාගය ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ නොව අසල්වැසි පංජාබ් ප්‍රාන්තයේ සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එම නියෝගය කරන ලද්දේ අපරාධකරුවන්ට ගොදුරු වූ දැරියගේ පවුලේ සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනු ලැබීමෙන් අනතුරුවය.
ජම්මු-කාශ්මීර් ළමා දූෂණය ඉන්දියාව තුළ මහජන කෝපය ඇවිළ යාමට හේතු විය.
දූෂණ අපරාධයට ගොදුරු වූ දැරිය මුස්ලිම් ගෝත්‍රයකට අයත් වූ අතර, ඒ සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් අට දෙනා හින්දු ජාතිකයෝ වෙති.
ඔවුහු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති.
කාශ්මීරයේ ප්‍රජාව මෙම කාරණයේ දී ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන්හි රැඳී සිටින හෙයින් අදාළ නඩු විභාගය ජම්මු-කාශ්මීරයේ නොපවත්වන ලෙස දැරියගේ පවුලේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.
දැරියගේ පවුලේ සාමාජිකයන්ට, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ට සහ සාක්ෂිකරුවන්ට රැකවරණ සලසන ලෙසත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
දැරියගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත් වන්නේ හින්දු බහුතරයක් සහිත කතුවා (Kathua) නම් ගම්මානයේය.
පොලිසිය පවසන ආකාරයට සැකකරුවන් දැරිය දූෂණය කොට මරා දමා ඇත්තේ එම දැරිය අයත් ගෝත්‍රික ජනයා ඔවුන්ගේ වාසස්ථාන වලින් නෙරපා හැරීමේ අටියෙනි.
එම චූදිතයන් කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් සහ නීතිවේදීන් පිරිසක් ඊට එරෙහිව නැගී සිටි අතර එය ඉන්දීය මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
කෙසේ වුවද, අදාළ නඩුව පංජාබ් ප්‍රාන්තයේ 'පතන්කොට්' (Pathankot) උසාවියක විභාග කළ යුතු යයි නියෝග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එය ජූලි නව වෙනිදා ආරම්භ කර අවසානය තෙක් දෛනික මට්ටමින් විභාගයට ගන්නා ලෙසත් නිර්දේශ කර ඇත.
එසේම එම නඩු විභාගය පෙරට යන ආකාරය කැමරා මගින් මෙහෙයවනු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
දූෂණය කර මරා දමන ලද දැරියගේ සිරුර ජනවාරි 17 වෙනි දින සොයා ගනු ලැබුණි.
ආණ්ඩුවේ විශ්‍රාමික නිලධාරියෙක්, පොලිස් භටයන් හතර දෙනෙක් සහ බාල වයස්කාරයෙක් චූදිතයන් අතර සිටිති.
එම චූදිතයන්ට සහයෝගය දක්වමින් පැවැත්වුන රැස්වීමකට ඉන්දියාවේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ඇමතිවරුන් දෙදෙනකු ද සහභාගී වීම මහජනතාව කුපිත කිරීමක් විය.
සබැඳි පුවත්;