සිරියාව: රසායනික ප්‍රවීණයෝ සැක කටයුතු ස්ථාන පරීක්ෂා කරති

Bullet-proof vest and helmet used by OPCW staff, as demonstrated at its headquarters in The Hague, 20 April

ඡායාරූප මූලාශ්‍රය, AFP

සිරියාවේ දමස්කස් නගරය ආසන්නයේ රසායනික ප්‍රහාරයකට ලක් වූ බවට සැක කෙරුනු ස්ථාන රසායනික අවි පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ පරීක්ෂාවට ලක් වී තිබේ.

රසායනික අවි භාවිතය වැළක්වීමේ ආයතනයේ (Organisation for the Prohibition of Chemical Weapons-OPCW) කණ්ඩායමක් ඩුමා නගරය වෙත ගොස් ඇති අතර පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල සහ වෙනත් දෑ එක්රැස් කරනු ලැබ ඇත.

පසුගිය අප්‍රේල් 07 වෙනිදා එල්ල වූ බවට සැක කෙරෙන රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බටහිර රාජ්‍යයන් කීපයක් විසින් සිරියානු ආණ්ඩුව යටතේ පාලනය වන ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ වනවිට ඩුමා නගරයේ පාලනය සියතට ගෙන සිටින සිරියාව සහ රුසියාව රසායනික අවි භාවිත කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

සිරියාව

අප්‍රේල් 07 වෙනිදා එල්ල වූ ප්‍රහාරයෙන් හතළිහකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි පැවසේ.

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය එක්ව දියත් කළ ඒකාබද්ධ ප්‍රහාරයෙන් අනතුරුව සිරියාවේ ප්‍රධාන මිත්‍ර පාර්ශ්වය වන රුසියාව සහ එම රටවල් අතර වාග් සංග්‍රාමයක් ඇති විය.

රසායනික ප්‍රහාරය එල්ල වූ බව පැවසෙන ස්ථානයේ සංචාරය කිරීම සඳහා ඒ පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර කණ්ඩායමට අවසර ලබා දීම ප්‍රමාදවීම හමුවේ ප්‍රතිවාදී න්‍යායන් සහ එකිනෙකාට චෝදනා කර ගැනීම් ඉහල ගිය බව විශ්ලේෂකයෝ පවසති.

අප්‍රේල් 07 වෙනිදා ප්‍රහාරයට ලක් වූ බව පැවසෙන ඩුමා නගරයේ ස්ථාන දෙකක තමන් සංචාරය කළ බව රසායනික අවි භාවිතය වැළක්වීමේ ආයතනයේ නිවේදනයේ සඳහන් වේ.

මේ වසරේ පෙබරවාරි මාසය වනවිට රට හැර ගොස් ඇති සිරියානුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වසරේ පෙබරවාරි මාසය වනවිට රට හැර ගොස් ඇති සිරියානුවන්

එක්රැස් කර ගත් සාම්පල වර්ග හේග් නුවර පිහිටි සිය පරීක්ෂණාගාරය වෙත යවනු ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඊට අදාළ තොරතුරු සහ වෙනත් "ද්‍රව්‍ය" පරීක්ෂකයන් විසින් එක්රැස් කර ගනු ලැබ ඇති බවත් එම ආයතනය කියා සිටී.

රසායනික අවි භාවිතය වැළක්වීමේ ආයතනයේ නියෝජිතයන් දමස්කස් නගරය වෙත පැමිණෙන ආකාරය එයිටීවී නිවුස් ආයතනයේ වාර්තාකරුවෙකු රූගත කර තිබිණ.

ප්‍රහාරයට ලක් වූ බව පැවසෙන ස්ථානවල සංචාරය කිරීම සඳහා අවසර ලැබෙන තෙක් ඉහත කී කණ්ඩායමට සතියක පමණ කාලයක් දමස්කස් අගනුවර රැඳී සිටීමට සිදු විය.

රසායනික අවි භාවිතය වැළක්වීමේ ආයතනයේ නියෝජිතයන් බදාදා එම ස්ථානවල සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට පෙර එහි ගිය එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් වෙත වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමග ඔවුන්ගේ එම සංචාරය ප්‍රමාද විය.

සබැඳි යොමු: