මැලේසියාව: "ව්‍යාජ පුවත්" පළ කළොත් වසර දහයක් හිරේ

"ව්‍යාජ පුවත්වලට" වැට බැඳීමේ අරමුණින් එවැනි පුවත් ප්‍රචාරය කළ බවට වරදකරුවන් වන පුද්ගලයන් සඳහා වසර දහයක් දක්වා වූ සිර දඬුවම් ලබා දීමට හැකිවන නව නීතියක් මැලේසියානු ආණ්ඩුව විසින් යෝජනා කරනු ලැබ තිබේ.

ව්‍යාජ පුවත් මර්දන පනත යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සිරගත කිරීමට හෝ ඇමරිකානු ඩොලර් 128,000 දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකම ලබා දීමට හැකි වනු ඇත.

සති කීපයක් තුළ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර අදාළ පනත් කෙටුම්පත සඳුදා (මාර්තු 26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

විවේචකයන් විසින් අදාළ පනත් කෙටුම්පත හඳුන්වනු ලැබුවේ විපක්ෂ මත මැඩපැවැත්වීමට බලධාරීන් ගත් උත්සහයක් ලෙසය.

පනත් කෙටුම්පතට අනුව "සම්පූර්ණයෙන්ම හෝ අඩක් වැරදි පුවත්, තොරතුරු, දත්ත සහ වාර්තා" "ව්‍යාජ පුවත්" යනුවෙන් අර්ථ දක්වා ඇත.

"ව්‍යාජ පුවත් හෝ ව්‍යාජ පුවත් අඩංගු ප්‍රකාශ කුමන හෝ අදහසකින්, දැනුවත්ව, පළ කර, මුද්‍රණය කර, බෙදා හරින හෝ සංසරණය කිරීමට සලස්වන" කවර හෝ පුද්ගලයෙකු අදාළ පනත මගින් වරදකරු වේ.

බ්ලොග් අඩවි, අන්තරජාල සමාජ (forums) සහ සමාජ ජාල ගිණුම් ද අදාළ පනත යටතට ගැනේ.

"ව්‍යාජ පුවත" මැලේසියාව හෝ එහි වෙසෙන පුද්ගලයන් සම්බන්ධ පුවතක නම්, මේ නීතිය මැලේසියාවේ සිටින හෝ රටින් බැහැරව සිටින ඕනෑම අයෙකු සම්බන්ධයෙන් බලපැවැත්වේ.

එහි අදහස විදේශිකයන්ට එරෙහිව ඔවුන් අනභිමුඛයේ පවා දඬුවම් කළ හැකි බවය.

පැවැත්වීමට නියමිත මහමැතිවරණය හමුවේ විපක්ෂය නිශ්ශබ්ද කිරීමේ උත්සහයක් ලෙස ද අදාළ පනත් කෙටුම්පත හඳුන්වනු ලැබ තිබේ.

මහමැතිවරණය අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉදිරි සති කීපය තුළ එය පැවැත්වෙනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

"මේ පනත සියයට සියයක් විරුද්ධ මත අහුරාලන අදහසින් ගෙන ආ එකක්. ඉතාමත් දැඩි දඬුවමක්," යනුවෙන් මානව හිමිකම් නීතිඥයෙකු වන එරික් පෝල්සන් පැවසීය.

"එසේම මැතිවරණයට පෙර මේ පනත ඉතාමත් හදිසියෙන් සකසා ඇති බවක් පෙනෙන්න තිබෙනවා. බොහෝ විට එය පාර්ලිමේන්තුවේ සම්මත වන හැඩක් පෙනෙන්නට තිබෙනවා,"

මැලේසියාවේ රාජ්‍ය සංවර්ධන අරමුදල හා සම්බන්ධ අපචාර වැනි දූෂණ හා සම්බන්ධ පුවත් වාර්තා කිරීම කෙරෙහි අදාළ පනත බලපානු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉහත කී අපචාරය සම්බන්ධයන් මැලේසියානු අගමැති නජීබ් රසාක් වෙත ද චෝදනා එල්ල වන අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රාජ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් පළ වන ආණ්ඩුව විසින් තහවුරු කරනු ලැබ නොමැති යම් පුවතක් වේ නම් එය අසත්‍ය පුවතක් බව ඇමතිවරයෙකු මීට දින කීපයකට ඉහත දී සඳහන් කර තිබිණි.

"Fake News" ගැන වෙනත් පුවත්: