"මට වූ දේ තවත් කිසිම දරුවෙකුට නොවේවා" - වෙඩි පහරට ලක්වූ ශිෂ්‍යාවකගේ කතාව

"අපි වෙනුවෙන් අපි වීදියේ" සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මේ සති අන්තයේ වොෂින්ටන් නුවරට රැස් වනු ඇතැයි අපේක්ෂිතය. එයට නායකත්වය දෙනු ලබන්නේ Marjory Stoneman Douglas High School පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි. පසුගිය පෙබරවාරි මාසයේ එම පාසලට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිසුන් 17 දෙනෙකු මරුමුවට පත්විය.

ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එක් ශිෂ්‍යාවක වන නිකී තමන් එම පෙළපාලියට එක්වන්නේ මන්දැයි බීබීසී Newsbeat වැඩසටහනට විස්තර කළාය. මේ ඇයගේ කතාවය.

_______________________________________________________________

මේ වසරේ වැලන්ටයින් දිනයේ 3300 ක පිරිසකගේ ජීවිත සහමුලින්ම වෙනස් විය.

ඉන් දිනකට පසුව, මගේ පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග උද්‍යානයට එක් වී අපි දිවි අහිමි වූ අපේ මිතුරු මිතුරියන්, ගුරු භවතුන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් සැමරුවෙමු.

මට ජීවිතයේ අන් කෙදිනක හෝ නොදැනුන අන්දමේ කලකිරීමක් දැනිණ.

එදින රාත්‍රියේම අපි අපේ උද්ඝෝෂණය ඇරඹුවෙමු.

CNN, MSNBC සහ FOX ඇතුලු ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලුම නාලිකාවල පාහේ පෙනී සිටියහ.

වෙඩි තැබීම අවස්ථාවේ තමන් සිටි ගොඩනැගිල්ලේ සිදුවූ දේ විස්තර කළ ඔවුහු, එවැන්නක යළි සිදුවීම වැළැක්වීම පිණිස තමන් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ ගැන අදහස් දැක්වූහ.

ඊළඟ සතිය වන විට, ඔවුන්ට නමක් පමණක් නොව අරමුණක් ද තිබිණ.

"ආයේ කවදාවත් එපා," යන්න March For Our Lives හෙවත් "අපි වෙනුවෙන් අපි වීදියේ" සඳහා සූදානම් වෙද්දී ඔවුන්ගේ සටන් පාඨය විය. ඔවුන් ඉල්ලා සිටින වෙනස ක්‍රියාවට නැගීම සඳහා බලය තිබෙන මහජන නියෝජිතයන් ඉදිරියේ වොෂින්ටන් DC නුවර පෙළපාලි දැක්වීම ඔවුන්ගේ සැලසුම විය.

ඒ මොහොතේ මට මහත් ආඩම්බරයක් දැනිණ.

ඩග්ලස් පාසලේ ශිෂ්‍යාවක, ශිෂ්‍ය මාධ්‍යවේදිනියක සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනාගත ඡන්දදායිකාවක ලෙසින් මමත් වොෂින්ටන් ඩීසී බලා පිටත්ව යන්නෙමි.

මමත්, මගේ යහළු යෙහෙලියනුත් එදා අත්දුටු දේ ඇමෙරිකාවේ තවත් කිසිදු දරුවෙකුට දකින්නට නොලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයය.

දරු දැරියන්ට ආරක්ෂිතම සේ සැලකෙන ස්ථානයකදී එවැන්නක් විඳින්නට ලැබීම දරුවෙකුගේ ජීවිතයේ බියකරුම අත්දැකීම විය හැකිය.

මීට ඉහතදීත් එක්සත් ජනපදයේ පාසල්වල වෙඩි තැබීම් සිදු වී තිබේ.

මා හත් වෙනි පන්තියේ ඉගෙනුම ලැබූ සමයේ කනෙක්ටිකට් පෙර පාසලක සිදු වූ වෙඩි තැබීම මට මතකය. එහිදී මරා දැමුණ 26 දෙනා අතරින් බහුතරය සය හැවිරිදි සහ සත් හැවිරිදි දරුවන්ය.

පාසලේ බංකු යට සැඟ වී, වෙඩි තැබීමකින් ආරක්ෂා වීම ගැන මගේ පළමු පුහුණුවට සහභාගි වූ දිනයත් මට තවමත් මතකය. මා උපත ලැබීමටත් ප්‍රථම කොලම්බයින් උසස් පාසලේ වෙඩි තැබීමකින් 13 දෙනෙකු මරා දැමුණු අන්දම එදා මගේ ගුරුතුමිය කඳුලු පිරි දෙනෙතින් යුතුව විස්තර කළාය.

ඒ සිදුවීම් දෙකෙන් පසුවම එවැන්නක් යළි සිදුවීමට ඉඩ නොතබන බවට ආණ්ඩුවේ බලධාරීහු ප්‍රතිඥා දුන්හ.

අද මෙන්ම රූපවාහිනී නාලිකාවලට රොක් වූ දේශපාලකයෝ සහ විශ්ලේෂකයෝ එම ප්‍රහාරවල ආදීනව ගැන වාද, විවාද කළහ.

එහෙත් ටික දිනකින් සියලු දෙනාට එය අමතකව ගියේය.

මේ වතාවේ ඒ සම්ප්‍රදාය වෙනස් කිරීමට අපි අදිටන් කරගෙන සිටින්නෙමු. අප නිහඬ කළ නොහැකි බව අපි රටවැසියන්ට දැනුම් දෙන්නෙමු.

කොලම්බයින් පාසලේ දරුවන්ට මෙන් නොව, අද අපේ පණිවුඩය සමාජය වෙත ගෙනයාම පිණිස අපට සමාජ මාධ්‍ය ජාල තිබේ.

කනෙක්ටිකට් පෙර පාසලේ වෙඩි තැබීම සිදු වූ සමයේ මෙන් නොව, අද අපට අපේ කතාව කීමට සහ අපේ අරමුණ කරා යාමට ශක්තිය තිබේ.

දරුවන්ගේ හඬ නොතකා හැරිය නොහැකිය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අරගලයේ කතාව අපේ පාසලෙන් ඇරඹෙනු ඇති බව මම දනිමි.

තවත් කියවන්න: