සිරියාව: "අති දරුණු" ගැටුම්වලින් පලා යන ගවුටා වැසියෝ

සිරියානු කැරලිකරුවන් යටතේ පවතින නැගෙනහිර ගවුටා (Ghouta) ප්‍රදේශයේ වාතාවරණය "අති දරුණු" අතට හැරෙද්දී ගැටුම්වලින් බේරීම පිණිස එහි වැසියන් පලා යමින් සිටින බව වාර්තා වේ.

සිරියානු හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල තවත් ශක්තිමත් කරමින් දමස්කස් අගනුවරට නැගෙනහිරින් පිහිටි ගවුටා නගරය නැවත ඔවුන් යටතට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති හැඩක් දකින්නට ලැබේ.

මෙම ප්‍රදේශයෙන් 25% ක් පමණ සිරියානු හමුදා පාලනයට ගෙන ඇති බව එක්සත් රාජධානියේ පිහිටුවා ඇති සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කවුන්සිලය ප්‍රකාශ කරයි.

පෙබරවාරි දහඅට වැනි දින ආරම්භ වූ ගැටුම්වලින් මේ වන විට හයසියයකට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා ළමුන් බවත් විශ්වාස කෙරේ.

සිරියාවේ ප්‍රධාන ආධාරකරු රුසියාව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද කිසිදු මානුෂීය මෙහෙයුමකින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵල අත්වී නැත.

"සිවිල් වැසියන්ට සාමූහික දඬුවම් පැමිණවීම කිසිසේත්ම පිළිගත නොහැකි," බව මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ හතළිහකට ඩූමා නගරයට ඇතුළු වීම සඳහා සිරියානු බලධාරීන්ගෙන් අවසර ලබා ගත නොහැකි වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

එහි 393,000 ක් පමණ සිවිල් වැසියන් සිරවී සිටිති.

තවත් තොරතුරු:

නැගෙනහිර ගවුටා ප්‍රදේශයේ එක දිගට සිදුවන බෝම්බ පිපිරීම් හේතුවෙන් සිය ගණනක් මිනිසුන් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව එහි සිටින මාධ්‍යවේදියෙක් පැවසුවේය.

මේ අතර වැඩි වශයෙන් සිටින්නේ කාන්තාවන් සහ ළමුන් වන අතර ඔවුන් හමුදා පාලන ප්‍රදේශ කරා යමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පවතින තත්වය "අති දරුණු" බව නැගෙනහිර ගවුටා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බීබීසීයට පැවසුවේය.

මේ තොරතුරුද දැනගන්න:

සිරියානු ආණ්ඩුවේ අරමුණ කුමක්ද?

සිරියානු ආණ්ඩුව මෙම ප්‍රදේශය දෙකට බෙදීමේ උත්සාහයක යෙදෙන බව සමහර වාර්තාවල සඳහන් වී ඇත.

සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ හමුදාව පෙරමුණු කිහිපයකින් ඉදිරියට ගොස් එම ප්‍රදේශයේ ඇති ගම්මාන සහ ගොවිපළ තම පාලනයට ගෙන ඇති අතර නැගෙනහිර ප්‍රදේශයේ සිට ප්‍රහාර එල්ල කරන බවය.

සිරියානු හමුදා ඩූමා ප්‍රදේශයට කිලෝමීටර් තුනක් පමණ බව දුරින් සිටින බව සිරියානු යුද නිරීක්ෂකයෝ පවසති.

සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් සිරියානු හමුදාවලට චෝදනා එල්ල වී ඇත.

නමුත්, ඉහත චෝදනාවලට පිළිතුරු දෙමින් ආණ්ඩුව පවසන්නේ කැරළිකරුවන් යටතේ ඇති ප්‍රදේශ මුදවා ගැනීමේ උත්සාහයක හමුදාව යෙදී සිටින බවය.