ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආඝාත රෝගීන්ට සුවය සලසන නව උපකරණයක් ළඟදීම
ආඝාතයට (stroke) ගොදුරු වූ පුද්ගලයන්ට ඉක්මන් සුවය ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට උපකාර වන දත්ත ලබාදෙන, ශරීරයේ පැලඳිය හැකි අන්දමේ සංවේදකයක් (sensor) ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් පිරිසක් වැඩිදියුණු කරමින් සිටිති.
මෙම සංවේදකය මගින් වෛද්‍යවරුන්ට රෝගියා පිළිබඳව අඛණ්ඩව තොරතුරු ලබා දෙයි.
චිකිත්සකයන්ට වඩාත් සමීපව තම ප්‍රතිකාර නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මෙයින් උදාවන බව මෙම විශේෂඥ කණ්ඩායම පවසති.
මෑතකදී 'ටෙක්සාස්'හි පැවති 'විද්‍යාවේ උන්නතිය සඳහා වන ඇමෙරිකානු සංවිධාන' (American Association for the Advancement of Science) වාර්ෂික සමුළුවේදී මෙම පර්යේෂණයේ තොරතුරු හෙළි කරන ලදී.
ලිසී මකැනිච් (Lizzy McAninch) මීට දෙවසරකට පෙර ආඝාතයට ගොදුරු වූ කාන්තාවකි. ඇයට සති කිහිපයක් යනතෙක් ඇවිදීමට, කතා කිරීමට හෝ ආහාරපාන ගැනීමට නොහැකි විය.
සිරුරේ පැළඳිය හැකි ඉහත කී නව සංවේදකය ඇගේ සුවවීම වේගවත් කිරීම කෙරෙහි බලපාන්නේදැයි දැන් පරීක්ෂණ පැවැත්වෙයි.
එම සංවේදකය සුදු පැලැස්තරයක් වැනි දෙයක් වන නමුත්, එය ස්වයංක්‍රීයව ඇගේ වෛද්‍ය කණ්ඩායමට තොරතුරු සන්නිවේදනය කරයි.
ලිසී ද වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ අතර, තම රෝගී තත්ත්වය පිරික්සීමට සංවේදකය උපකාර කරන අයුරු ඇයට දැකගත හැකිය.
"මේ තාක්ෂණය මගින් ශරීරයට බද්ධ කෙරෙන සංවේදක ශරීරයේ පේශි පද්ධතියට ක්‍රියා කළ හැකිද? - නැද්ද? යන්න ඇගයීමකට ලක් කෙරනවා. එමගින් ආඝාතයේ බලපෑමට ලක්වූ ස්ථාන නිශ්චය ලෙසම දැනගත හැකියි. ඒ අනුව චිකිත්සකයන්ට අදාළ නිශ්චිත ස්ථානයටම ප්‍රතිකාර කළ හැකි වෙනවා" ලිසී මකැනිච් බීබීසියට පැවසුවාය.
ව්‍යායාම වලින් පසුව පවා සංවේදකය තොරතුරු යැවීම සිදු කරයි. ඒ අනුව ඇගේ චිකිත්සක ක්‍රිස්ටින් හොහ්ල්ට (Kristen Hohl) චිකාගෝ නගරයේ පිහිටි සිය විද්‍යාගාරයේ සිට ලිසීගේ ප්‍රගතිය නිරීක්ෂණය කළ හැකිය.
"චිකිත්සකයෙක් හැටියට මගේ රෝගීන් නිවසට වී කුමක් කරනවාදැයි මම කල්පනා කරනවා. ඔවුන්ගේ චිකිත්සකයා ලෙස මම ලබාදෙන ක්‍රියාකාරකම් කිරීමට ඔවුන් සමත්ද? නැතිනම් මා ඊට වඩා යමක් කළ යුතුද? යන්න පිළිබඳව අපට යම් ඇගයීමකට එන්න පුළුවන්. ඒ වගේම ඔවුන් අවශ්‍ය ක්‍රියාකාරකම් කරනවද? එහෙම නැත්නම් කතා කර කර ඉන්නවද? කියලත්, මෙම සංවේදක මගින් දැනගන්න පුළුවන්" චිකිත්සක ක්‍රිස්ටින් පවසන්නීය.
"නමුත් දැනට මට යැපෙන්න වෙලා තියෙන්නෙ රෝගීන් තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ මට කියන තොරතුරු මත පමණයි" ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම සංකීර්ණ ක්‍රියාවළිය සඳහා අවශ්‍ය විද්‍යුත් උපකරණ, දිගු කාලයක් අපහසුවකින් තොරව පැළඳ සිටීමට හැකිවන පරිදි ඉතා කුඩා හා නම්‍යශීලී පැලැස්තරයක් බවට පත්කිරීම විද්‍යාඥයන් මුහුණ දුන් අභියෝගයකි.
"එය මුළුමනින්ම පාහේ රෝගියාට නොදැනෙන දෙයක්" බව මෙම සංවේදකය තැනූ චිකාගෝ 'නෝර්ත්වෙස්ටර්න්' විශ්ව විද්‍යාලයේ (Northwestern University in Chicago) ජෝන් රොජර්ස් (John Rogers) පවසයි.
"ඒ වගේම, වැඩිදියුණු කළ ක්‍රියාකාරීත්වයන්, විද්‍යුත් සැපයුම් වගේම 'වයිෆයි' තාක්ෂණයත් මෙම අසාමාන්‍ය පැලැස්තරයට ඇතුළු කරන්න පුළුවන්. එය තමයි අපි කරන දෙයෙහි ඇති සුවිශේෂත්වය." ජෝන් පවසයි
මෙම වසර අවසන් වන විට අන් කවරදාටත් වඩා ආඝාතයෙන් සුවවීම පිළිබඳ තොරතුරු පර්යේෂණ කණ්ඩායම සතුවනු ඇත. ඉදිරියේදී රෝගීන්ට ප්‍රතිකාර කරන විධි වෙනස්වීමට මෙම අධ්‍යයනය බලපානු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
වෙනත් පුවත්: