ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහාචාර්ය ලොරී සන්තෝස් "සතුටෙන් සිටීමේ ක්‍රම පහක්" යෝජනා කරයි
"සතුටෙන් සිටීමට සචේතනික උත්සාහයක් අවශ්‍ය බව විද්‍යාවෙන් ඔප්පු කරල තියෙනවා" ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ මනෝ සහ ප්‍රජානන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලොරී සන්තෝස් පවසන්නීය.
"එය පහසු නැහැ. ඊට කාලය අවශ්‍යයි" මහාචාර්ය ලොරී සන්තෝස් බීබීසියට ප්‍රකාශ කළාය.
"මනෝ විද්‍යාව සහ යහපත් ජීවිතය" පිළිබඳව උගන්වන නිසා ඇය සැබවින්ම මේ පිළිබඳ දැනුවත් විය යුතුව ඇත.
ඇයගේ පංතිය, වසර 316 ක යේල් සරසවි ඉතිහාසයේ ජනප්‍රියම පංතියයි.
1200 ක් ඉක්මවා ගිය ශිෂ්‍ය සංඛාවක් බඳවා ගැනීමත් සමග මහාචාර්ය ලොරී සන්තෝස් මෑතකදී යේල් විශ්වවිද්‍යාලයේ මෙතෙක් කවර හෝ විෂයයක් සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමුවාය.
සන්තෝස්ගේ පාඨමාලාව, ධනාත්මක මනෝවේදයේ මූලධර්ම මත පදනම් වෙයි. එය සතුට සහ හැසිරීමේ වෙනස්කම් පිළිබඳ මනෝවිද්‍යාවේ ඉගැන්වෙන කොටසකි.
නමුත්, මෙම ඉගැන්වීම් එදිනෙදා ජීවිතයට ගලපන්නේ කෙසේද?
"සතුටෙන් සිටීම එක්වරම සිදුවන්නක් නොවේ. එහි වර්ධනයක් සඳහා පුහුණු වියයුතුයි" සන්තෝස් පවසයි.
"එය හරියට සංගීතඥයන් හෝ මලල ක්‍රීඩකයන් නිරතුරු පුහුණුවී සාර්ථක වෙනවා වගේ කාර්යයක්"
සතුටින් සිටින්නේ කෙසේදැයි සන්තෝස් ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සතියකට දෙවරක් උගන්වන්නීය.
"තමන්ගේ ම වැඩපිළිවෙලක්' සහිතව පැමිණෙන ලෙසත් පෞද්ගලිකව තම ජීවිත වර්ධනයට හේතුවුන ජීවිතයේ සතුට හා ශරීර සෞඛ්‍ය ලඟා කරගැනීමට සුදුසු ව්‍යාපෘති සමග දේශනා සඳහා පැමිණින ලෙසත් ඇය සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටින්නීය.
යේල් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට නොහැකි අයට ඔවුන්ගේ ජීවිත සතුටින් ජීවිතය ගත කිරීමට අවශ්‍ය ව්‍යායාම වැඩ සටහනක් ද මහාචාර්ය සන්තෝස් ඉදිරිපත් කරන්නීය.
1. කෘතඥතාව දැක්වීමට ලැයිස්තුවක් හදන්න
සතියක් පුරා හැම රාත්‍රියකදීම සෑම අයෙක්ම තමන් එදා දවසේ කෘතඥතාව පළකළ යුතු කරුණු ඇතුළත් ලැයිස්තුවක් සකස් කළ යුතුය. එය ඔවුන්ගේ කෘතඥතා ලයිස්තුවයි.
"ඒක බැලූ බැල්මට සරළ දෙයක් ලෙස පෙනුනත්, මේ කටයුත්ත නොකඩවා කරන සිසුන් වඩාත් සතුටින් සිටින්නට නැඹුරු වෙනවා," සන්තෝස් පවසයි.
2. දිගු වේලාවක් හොඳින් නිදා ගන්න
මහාචාර්ය සන්තෝස්ට අනුව, ඉෂ්ඨ කරගැනීමට අපහසුම ව්‍යායාමය මෙය බව තහවුරු වී තිබේ. සතියක් තුළ සෑම රැයකදීම පැය අටක් නිදා ගැනීම එම අභියෝගයයි.
"ඒක තරමක මෝඩ කටයුත්තක් හැටියට පේනවා. නමුත් අපි දන්නවා හොඳ දිගු නින්දක් ලැබීම තුළ ආතතිය අඩුවීමේ හැකියාවත්, ධනාත්මක සිතුවිළි වර්ධනය වීමේ හැකියාවත් වර්ධනය වෙන බව " සන්තෝස් පෙන්වා දෙන්නීය.
3. භාවනා කරන්න
ඔබ කළ යුත්තේ දිනකට විනාඩි 10 ක් භාවනා කිරීමයි. ශිෂ්‍යාවක් ලෙස නිරන්තර භාවනාවෙන් තමා සහනයක් ලද බව සන්තෝස් පවසන්නීය. දැන් ඇය මහාචාර්ය වරියකි. භාවනාව සහ අනෙක් ක්‍රියාකාරකම් කෙනෙකුගේ පූර්ණ අවධානය දිනා ගැනීමෙන් සතුටට පත්වන ආකාරය අධ්‍යනය කිකරන මෙන් ඇය සිසුන්ට පවරයි.
4. පවුලේ අය සහ යහළුවන් සමග වැඩිපුර කාලය ගතකරන්න
තමන්ගේ පවුලේ අය සහ යහළුවන් සමග හොඳ කාලයක් ගත කරන අය වඩාත් සතුටෙන් පසුවන බව නවතම සමීක්ෂණ ඔස්සේ තහවුරු වන බව සන්තෝස් පෙන්වා දෙයි.
ඉතා හොඳ පුද්ගලානුබද්ධ සහ සමාජ සබඳතා මෙන්ම එකිනෙකා හමුවීම මගින් සැලකියයුතු මට්ටමින් පුද්ගල සුභ සාධනය වර්ධනය කෙරෙයි..
"එය එතරම් කල් ගතවෙන දෙයක් නොවෙයි. ඔබ කළ යුත්තේ එම මොහොතේ ජීවත්වීම. එම කාලය ඔබ ඔවුන් සමග එක්ව සිටින බව තරුම් ගනිමින් ගත කරන්න. ඔබේ කාලය ගත කෙරෙන ආකාරය පිළිබඳව සවිඤ්ඤානික වෙන්න" එය මහාචාර්යවරියගේ උපදේශයයි.
'කාලය' නැමැති සංකල්පය සතුට සඳහා ඉතාම වැදගත්. "අපි හැමතිස්සෙම අපේ පොහොසත්කම මනින්නේ අප සතුව ඇති මුදලට අනුව. නමුත්, අපේ පොහොසත්කම අපට කාලය කොපමණ තිබේද යන්න හා තදින් බැඳී පවතිනවා" ඇය පවසයි.
5. අන්තර් ජාල සබඳතා අඩුකර සැබෑ සබඳතා වැඩි කරන්න
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ව්‍යාජ සතුටෙන් සියල්ල අහිමි කරගත යුතු නැති බව සන්තෝස් විශ්වාස කරන්නීය.
"ඉන්ස්ටග්‍රැම් වගේ සමාජ මාධ්‍ය වැඩියෙන් භාවිත කරන අයට වඩා එසේ නොකරන අය සතුටෙන් ඉන්න බව නවතම සමීක්ෂණ වලින් පෙනිලා තියෙනවා" ඇය සඳහන් කර ඇත.
සතුටින් සිටින්නට ඔබට සැබවින් ම අවශ්‍ය නම්, කෘතවේදී වෙන්න. යහළුවන් සහ පවුලේ අය සමග කාලය ගතකරන්න. අඩුම තරමින් දවසකට විනාඩි කිහිපයක් භාවනා කර ඔබේ මනස පිරිසිදු කරගන්න. අන්තර්ජාල සබඳතා අක්‍රීය කර වැඩියෙන් නිදා ගන්න. මෙම උපදෙස් සහ ක්‍රියාමාර්ග 'යේල් ' සරසවි සිසුන්ට නම් සාර්ථක වී තිබේ.
අත්හදා බලන්න. ඔබටත් එය සාර්ථක විය හැකියි.
සතුට ;