'මාකෝ' කුමරියගේ මංගල සීනු හඬ දැන්ම නොඇසෙයි

මාකෝ කුමරිය සිය පෙම්වතා කෙයි කොමුරෝ සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මාකෝ කුමරිය සිය පෙම්වතා කෙයි කොමුරෝ සමඟ

මෙම වසරේ නොවැම්බර් මාසයේ සිය විවාහ මංගල්‍යය සැලසුම් කරමින් සිටි ජපානයේ 'මාකෝ' (Mako) කුමරිය එය 2020 වසර තෙක් කල් තැබීමට පියවර ගනිමින් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

සිය හදවත දිනූ පෙම්වතා සමඟ විවාහවීම කුමරිය විසින් කල් තබනු ලබන්නේ ඊට සූදානම් වීමට ඇති කාලය මඳවීම නිසා බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

විසිහය හැවිරිදි 'මාකෝ' කුමරිය ජපානයේ 'අකිහිතෝ' අධිරාජයාගේ මිනිබිරියකි.

කුමරිය පෙමින් බැඳී සිටින්නේ නීති උපදේශන සමාගමක සේවකයකු වෙන කෙයි කොමුරෝ (Kei Komuro) සමඟය.

සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් විවාහය ප්‍රමාද කෙරෙන බව 'මාකෝ' කුමරිය සහ කෙයි කොමුරෝ පවසන බව 'ජිජි' (Jiji) පුවත්සේවය වාර්තා කරයි.

අකිහිතෝ අධිරාජයා සිහසුන අත්හැර දමනු ලැබීම සිදු කෙරෙන්නේ ලබන වසරේ වන හෙයින් එම කාල පරිච්ඡේදය ජපානයේ රාජකීය පවුලට කාර්යබහුල වකවානුවක් වනු ඇත.

"අපගේ විවාහය සඳහා අවංක ලෙස උදව් කළ සියලු දෙනාට අපේ විවාහය කල් තබනු ලැබීම මගින් ඇති වූ අමතර කරදරය සහ වියවුල සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටු වෙනවා"යි මාකෝ කුමරිය ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රේමය වෙනුවෙන් රාජකීය වරප්‍රසාද අත්හරින මාකෝ කුමරිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රේමය වෙනුවෙන් රාජකීය වරප්‍රසාද අත්හරින මාකෝ කුමරිය

සාමාන්‍ය ජපන් ජාතිකයකු වන 'කෙයි කොමුරෝ' සමඟ විවාහ වීමත් සමඟ 'මාකෝ' කුමරියගේ රාජකීය තත්වය අහිමි කෙරෙයි.

ජපානයේ රාජකීය නීතිය අනුව රජ කුමරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත් කිරීම අනිවාර්ය වෙයි.

තෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී මාකෝ සහ 'කෙයි කොමුරෝ' මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය.

දෙදෙනාම විසිහය හැවිරිදි වෙති.

අධිරාජයා සිහසුන අත්හැර දැමීම සහ ඔටුන්න හිමි කුමරාගේ රාජ පදප්‍රාප්තිය වැනි රජ පවුලේ වැදගත් කටයුතු නිමවීමෙන් අනතුරුව මාකෝ කුමරියගේ විවාහය සිදු කෙරෙනු ඇතැයි ජපන් අධිරාජ කුටුම්බයේ ප්‍රකාශකයකු විසින් තහවුරු කරනු ලැබ ඇත.

කෙයි කොමුරෝ ගේ මව සම්බන්ධ වී ඇති මූල්‍ය ප්‍රශ්න ඇතුළත් කරමින් පසුගියදා සඟරාවක ලිපියක් පළ වූ අතර ,එම සිද්ධිය රාජකීය විවාහය කල් තබනු ලැබීමට හේතු වූ බවට පළ වෙමින් පවතින අදහස් එම ප්‍රකාශකයා විසින් බැහැර කරනු ලැබුණි.

මහළු විය සහ සෞඛ්‍ය හේතූන් නිසා රජකමින් ඉවත් වෙන අකිහිතෝ අධිරාජයා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මහළු විය සහ සෞඛ්‍ය හේතූන් නිසා රජකමින් ඉවත් වෙන අකිහිතෝ අධිරාජයා

දැනට අසූ හතර වැනි වියේ පසුවෙන අකිහිතෝ අධිරාජයා ලබන වසරේ කිරුළ අත්හැර දැමීමට කටයුතු කළොත් අවුරුදු දෙසීයකට අධික කාලයකට පසුව (1817 කොකාකු අධිරාජයාගෙන් පසු) මරණයට පෙර ඔටුන්නෙන් සමු ගන්නා දෙවන ජපාන අධිරාජයා ලෙස ඔහු ඉතිහාසයට එක් වෙනු ඇත.

මහළු බව සහ පිරිහුණු සෞඛ්‍ය තත්වය හේතුවෙන් තමන්ගෙන් රටට ඉටුවිය යුතු වැඩ කොටස සපිරීමට අපහසු තත්වයක සිටින බැවින් කිරුළ අත්හැරීමට බලාපොරොත්තු වන බව ජපානයේ අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කර ඇත.

අධිරාජයා ඒ බව කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජපාන ජාතිය අමතමිනි.

අකිහිතෝගෙන් පසුව ජපානයේ අධිරාජ පදවිය ඔහුගේ වැඩිමහල් පුත්, එසේම 'මාකෝ' කුමරියගේ පියාගේ සහෝදරයා වන ඔටුන්න හිමි 'නරුහිතෝ' වෙත පැවරෙයි.

සබැඳි පුවත්;