සිහසුන අතහැරීමට අකිහිතෝට අවසර

ඡායාරූප මූලාශ්‍රය, AFP
අකිහිතෝ අධිරාජයාට සිහසුන අතහැරීම සඳහා ඉඩකඩ ලබාදෙන විශේෂ පනතක් ජපන් ආණ්ඩුවේ බලධාරීහු අනුමත කරති.
අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජයා පසුගිය වසරේ ප්‍රකාශ කර තිබුණේ තම රාජකාරි ඉටුකිරීම සඳහා තම වයස සහ සෞඛ්‍ය තත්වය බාධාවක් වී ඇති බවය.
නමුත් ඔහුට කිරුළ අතහැර දැමීම සඳහා ජපානයේ පවතින නීතිය අනුව අවසරයක් නොමැත.
ඒ සඳහා අවසරය ලැබෙන පරිදි කෙටුම්පත්කර, කැබිනට් අනුමැතිය ලද නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වනු ඇති බවට විශ්වාස කෙරේ.
කෙසේ වෙතත් මෙම නව පනත උපයෝගී කරගත හැක්කේ එක්වරක් පමණක් වන හෙයින් මීළඟට පත්වන අධිරාජයාට එය අදාළ නොවනු ඇත.
ශතවර්ෂ දෙකකට පසු
1817 වසරේදී කෝකාකු (kokaku) අධිරාජයාගෙන් පසුව, ජීවතුන් අතර සිටියදී ජපන් අධිරාජයෙකු සිහසුන අතහැර දමන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවීමට නියමිත ය.
අකිහිතෝට කුමරුට 1989 දී සිහසුන හිමිවූයේ සිය පියාවන හිරෝහිතෝ අධිරාජයා මියයාමෙන් අනතුරුවය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඔහු පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය කරනු ලැබූ අතර පසුව පුරස්ථි ග්‍රන්ථියේ හට ගත් පිළිකාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය.
අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් පුතු පනස් හය හැවිරිදි නරුහිතෝ ඔටුන්න හිමි කුමාරයා වන අතර සිහසුනට උරුමකම් කීම අතින් සුදුසුකම් ලබන දෙවැන්නා වන්නේ නරුහිතෝගේ බාල සොයුරු අකිශිනෝ කුමරුයි.
කෙසේ වෙතත් නරුහිතෝ කුමරුගේ පළමු දරුවා අයිකෝ කුමරිය සිය පියාගෙන් පසු ඔටුන්නට හිමිකම් කීමට සුදුසු නොවන්නේ ජපානයේ සංස්කෘතියට අනුව කාන්තාවකට රජ පදවිය හෙබවීම තහනම් වන බැවිනි.
එමෙන්ම සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමල් මිනිබිරිය වන මාකෝ කුමරියද සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කර ඇති බව ඊයේ (මැයි 18) වාර්තා විය.








