ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තහවුරු කෙරේ
විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් (Julian Assange) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කරයි.
මෙම වරෙන්තුව නිකුත් කළ "අරමුණ නැති වී ගොස්" ඇති හෙයින් එය ඉවත් කර ගන්නා ලෙසට අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
ජුලියන් අසාන්ජ්ට එරෙහිව අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ 2012 වසරේ දී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙනි.
ලිංගික අතවර සම්බන්ධයෙන් ස්වීඩනය තුළ චෝදනා ලැබ සිටින අසාන්ජ් එරටට පිටමං කිරීමට මුහුණදී සිටියේය.
තවත් තොරතුරු:
නීති තර්ක සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය තම නියෝගය නිකුත් කරමින් සඳහන් කර සිටියේ "වරෙන්තුව ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් හේතු ඉදිරිපත් වී නොමැති" බවය.
මේ මස මුලදී අසාන්ජ්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවය දීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය රජය, ඔහුට එක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණ "යුක්තියට මුහුණ දෙන ලෙස" දන්වා ඇත.
බ්‍රිතාන්‍ය නීතියට අනුව වරෙන්තුවක් මඟහැරීමේ වරදට උපරිම දඬුවම ලෙස වසරක් සිර ගත කළ හැකිය.
තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් තමන්ව ඇමරිකාවට භාර දෙනු ඇතැයි අසාන්ජ් බියෙන් පසුවෙයි. යුදමය සහ රාජ්‍යතාන්ත්‍රික රහස්‍ය තොරතුරු ඇතුළත් ලිපිලේඛන දහස් ගණනක් 'විකිලීක්ස්' වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේදී නඩුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන්න ඊට හේතුවී තිබේ.